මීළඟට මැද පෙරදිග සිදුවන්නට යන සැලකිය යුතුම සිද්ධිය, මීට අවුරුදු 2700 කට පෙර ජීවත්වූ යෙසායා නැමැති යුදෙව් අනාගතවක්තෘ මෙලෙස ලියා ඇත.“බලව, දමස්කය නුවරක්ව නොතිබෙන ලෙස අහක් කරනු ලැබ, ජරාවාස ගොඩක් වන්නේය” (යෙසායා 17:1). ‘දමස්කය’ යනු සිරියාවේ අගනුවර වන අතර, බෂාර් අල් අසාඩ් එම රටේ වර්තමාන ජනාධිපති වේ.
1948ටේ ඊශ්‍රායලය ‘නැවත ස්ථාපිතවූ’ පසු, ඔවුනට මුහුණ පෑමට සිදුවූ සෑම යුද්ධයකදීම, අරාබි වරුන් හට නායකත්වය ලැබුණේ ඊජිප්තුවෙනි. ෆාරුක් රජුහට 1952 දී රජකම අතහැර ඊජිප්තුවෙන් පිටවීමට සිදුවූ පසු, ජෙනරාල් නෙගුඉබ් පළමුවන ජනාධිපති ලෙස වැඩ භාරගත් නුමුත්, සැබෑ බලවතා වූයේ ගමාල් අබ්දුල් නසාර්ය. පාලන තන්ත්රයේ වෙනස් වීම නිසි ලෙස විධිමත් කල පසු, 1954 දී ඔහු දෙවන ජනාධිපති ලෙස වැඩ භාරගෙන, 1970 දී මියයන තෙක්ම එම ධූරය දැරුවේය.
1947 නොවැම්බර් 29 වනදා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ “181 වන යෝජනාව” සම්මත වූ පසු, ඊශ්‍රායලයට යුද්ධ 4 කට මුහුණ දීමට සිදුවුනි. එම රාත්‍රියේදීම “අපි ඔවුන්ව මධ්‍යධරණී මුහුදේ ගිල්වනවා” යැයි, සෞදි අරාබියානු නියෝජිතයා පැවසූ බව, එහි වාර්තාගතව ඇත. ඒලෙසම, සියලුම අරාබි රටවල් 181 වන යෝජනාව ක්‍රියාත්මක කරවීම නතර කිරීමට වෙහෙසුනෝය. එවකට ඇමරිකානු ජනාධිපතිව සිටි හැරී ටෘමන්, “රට ස්ථාපිත කිරීමට ඉක්මන් නොවන්න” යන පණිවිඩය, විශේෂ නියෝජිතයෙක් පවා යවමින්, ඩේවිඩ් බෙන් ගූරියන් හට දන්වා සිට ඇත. එමෙන්ම දෙවන ලෝක සංග්‍රාමයේදී මැදපෙරදිග “මිත්‍ර හමුදා” භාරව සිටි බර්නාඩ් මොන්ගොමරි නැමති බ්‍රිතාන්‍ය හමුදාපති, “මා සිතන විදිහට වැඩිම වුනොත් ඊශ්‍රායලය පවතින්නේ සුමාන දෙකයි” කියාද පවසා ඇත.
ඒ කෙසේ වෙතත්, 1948 මැයි 14 වන දින, තියඩෝර් හර්සල්ගේ ඡායාරූපයක් යට සිටගනිමින්, ‘ටෙල් අවිව්’ නගරයේ සිට, වර්තමාන ඊශ්රාලෙයේ පළමු වන අගමැති වූ ඩේවිඩ් බෙන් ගූරියන් “ස්වාධීන ඊශ්‍රායලය බිහිවීමේ ප්රකාශණය” කර සිටියේය. ඊට පසුවදාම, ඊජිප්තුව ප්රමුඛ අරාබි රටවල් 5ක්, මේ ‘එක්දින’ වයස්ව සිටි නව රාජ්‍යයට පහර දුන්හ.

ඊට ප්‍රථම යුදෙව් නියෝජිතයෝ චෙකොස්ලෝවැකියා වෙන් සහ තවත් රටවලින්, දෙවන ලෝක සංග්‍රාමයේදී භාවිතා වුනු යුද්ධායුධ මිලදීගෙන තිබුණි. එනමුත් මැයි 14 වනදා වන තෙක් ‘පලස්තීනය’ ලෙස එවකට හඳුන්වනු ලැබූ එම ප්‍රදේශය භාරව සිටි බ්‍රිතාන්‍ය රාජ්‍යය විසින් පනවා තිබූ තහංචි හේතුවෙන්, ඒවා තම රටට ගෙන ඒමට එම නියෝජිතයන්ට නොහැකි විය. එම නිසා එවකට ‘බර ආයුධ’ ලෙස ඊශ්‍රායලය සතුව තිබුණේ ‘එක යුධ ටැංකියක් සහ කාලතුවක්කු තුනක් පමණක්’ යැයි සාමාන්‍යයෙන් කියැවේ. “ස්වාධීනත්වයේ යුද්ධය” (War of Independence) ලෙස හැඳින්වෙන එම යුද්ධය, 1949 දී අවසන් වූයේ ඊශ්‍රායලය ජය ගණිමිනි.
ඊජිප්තුවේ බලය තහවුරු කරගත් පසු නසාර්, 1956 ජූලි 26 වන දින, ‘සූවස් ඇළ’ ඊජිප්තුව සතු ඇල මාර්ගයක් බවට ප්‍රකාශ කර සිටියේය. එසේ කලේ මධ්‍යධරණී මුහුද හරහා, ඊශ්‍රායලයට බඩු බාහිරාදිය පැමිණීම වැළැක්වීමටය.
ඊශ්‍රායලයට උතුරෙන්, නැගෙනහිරින් සහ දකුණෙන් තිබුනේ, සතුරු අරාබි රටවල් හෙයින්, භූමිය හරහා කිසිම භාණ්ඩයක් ලබාගැනීමට, ඔවුනට නුපුළුවන්ව තිබුණි.
ඒ හේතුවෙන් එම අවුරුද්දේ ඔක්තෝම්බර් 29 වනදා, ඊශ්‍රායලයට දෙවන යුද්ධය කිරීමට සිදුවුනි. ඒ තාක් කල්, ආර්ථික හේතූන් මත සූවස් ඇල භාරව කටයුතු කල බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ගුවන් හමුදාවන්ද, ඉන් පසුව ඊජිප්තුවට පහර දීමට පටන්ගත්හ. එනමුත් ඇමරිකාවේ, සෝවියට් දේශයේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලපෑම් මත, මේ හමුදා තුනම, එම පහරදීම් නොවැම්බර් 7 වන දින නතර කලහ. ඒ වන විට නැව් 40 ක් එම ඇලේ ගිලා බැස තිබුණ හෙයින්, ඇල මාර්ගයේ ගමනාගමනය සඳහා යථා තත්වයට පත්කර ගැනීමට, තව බොහෝ කලක් ගතවිය.
මැදපෙරදිග “විශ්මය ජනකම යුද්ධය” සිදුවූයේ 1967 වර්ෂයේ ජුනි මස 5 වනදා සිට 10 වනදා දක්වායි. එම දින 6 තුල, ඊශ්‍රායලයේ හමුදා පළමුවෙන් ඊජිප්තුවේ ගුවන් හමුදාව විනාශ කර, “සීනායි ප්‍රදේශය සහ ගාසා තීරය” ඊජිප්තුවෙන් දිනාගත්තේය. ජුනි මස 7 වනදා, “නැගෙනහිර යෙරුසලම” ඇතුලුව, බයිබලයේ “යුදෙයාව සහ සමාරියාව” නමින් හැඳින්වෙන භූමිය, යොර්දානයෙන් දිනාගත්තේය. 1948 සිදුවූ පළමු යුද්ධයේදී, වර්තමාන යොර්දාන් රජු අබ්දුල්ලාගේ මුත්තා වූ, පළමුවන අබ්දුල්ලා රජු එම භූමිය අල්ලා ගත්තේය. 1950 දී ඔහු එම භූමිය ‘යොර්දානයට ඈඳාගෙන, ඊට ‘බටහිර ඉවුර’ යන නාමය තැබීය. යොර්දාන් රාජ්‍යය පිහිටියේ යොර්දාන් ගඟට නැගෙනහිරින් වීම, ඈඳාගත් භූමියට ‘බටහිර ඉවුර’ යන නම තැබීමට හේතුව විය. ජුනි මස 9 වනදා ඊශ්‍රායලය, උතුරේ පිහිටි “ගෝලාන් කඳුවැටිය” සිරියානුවන් ගෙන් දිනාගත්තේය. එම රටවල් තුනේ සොල්දාදුවන් 20,000 කට වඩා මියගිය මුත්, ඊශ්‍රායලයේ හමුදාවන්ගෙන් මියගිය ගණන 1000 කටත් වඩා අඩු වීම, විශිෂ්ට ජයක් ලෙස සැලකුණි. මුලු ඊශ්‍රායලයේම තත්වය පමණක් නොව, ඒ අවට තිබෙන අරාබි රටවල ආකල්පයද, එම යුද්ධය කරණකොටගෙන, සම්පූර්ණයෙන් වෙනස් වුනි.
සර්වබලධාරී දෙවිඳුන්ගේ “6 වන මංගල්‍යය” බයිබලයේ 3 වන පොත වන ලෙවිකථාව 23 හි 27-32 දක්වා සඳහන්ව ඇත. සාමාන්‍යයෙන් කිතුණුවන් එය “සමගිකිරීමේ දවස” ලෙස හැඳින් වූවත්, එයට බයිබලයේ මුල් බසවූ හේබ්‍රෙව් වලින් කියවෙන්නේ “යොම් කිපූර්” කියායි. එහි 30 වන පදයේ “ඒ දවසේදී කිසියම් වැඩක් කරන කවරෙකු නුමුත්, ඔහුගේ සෙනඟ අතරින් විනාශ කරන්නෙමි” යැයි දෙවිඳුන් පවසා ඇතිවා සේම, 31 වන පදයේ එය, “සියලු පරම්පරා වලට අදාල නිරන්තර පණතක්” බවද, එතුමන් පැවසුවේ යැයි ලියා තිබේ. එමනිසා ‘එම දිනයේදී’ මුලු ඊශ්‍රායලයේම ක්‍රියාකාරිත්වය ‘නැවතීමකට’ පැමිණේ. ගුවන්විදුලි සහ රූපවාහිනී වැඩසටහන්, චිත්‍රපට යන සියල්ලම විකාශණය නොවේ. දුරකතන ඇමතුම්ද නැත. මහා මාර්ග වල රථවාහන ගමන් කරන්නේද නැත. එමෙන්ම ගුවන් සහ යුධ හමුදාවල සහ පොලීසියේ බහුතරයක් නිවාඩු යවන බැවින්, එම සේවාවන්ද අඩාලව සිදුවේ.
එබඳු තත්වයකින් ප්‍රයෝජන ගනිමින්, 1973 ඔක්තෝම්බර් 6 වන දින, ඊජිප්තුව සහ සිරියාව ප්රමුඛ අරාබි හමුදාවන්, තව වරක් ඊශ්‍රායලයට පහර දුන්හ. තවත් වැදගත් කරුණක් වන්නේ, එම වසරේ එම දිනයම, ඉස්ලාම් ධර්මයේ ‘රාමසාන්’ දිනයවී තිබීමයි.
මුල් දිනයේදී, අරාබි හමුදා ඊශ්‍රායලයේ බොහෝ ප්‍රදේශ ආක්‍රමණය කරමින් ඉදිරියට යන කල, සංවේදි කටයුතු නතරව තිබූ බැවින්, තමන් හට සතුරු හමුදා පහර දෙන බව මූලස්ථානයට දැන්වීමට ක්‍රමයක් නොතිබුණි. නුමුත් ඊට පසුවදා පෙළගැසුනු ඊශ්‍රායෙල් හමුදා ආපසු පහරදීම් කර, 25 වනදා වන විට එම අරාබි හමුදා මුලුමනින්ම පැරදුවෝය. එම හතරවන යුද්ධය හඳුන්වන්නේ “යොම් කිපූර් යුද්ධය” යනුවෙනි.
1970වේදී නසාර්ගේ අභාවයෙන් පසු අන්වාර් සදාත් ඊජිප්තුවේ තුන්වන ජනාධිපති ලෙස පත්විම් ලැබුවේය.
ඒ තාක් කල් බලයේ සිටි ‘කම්කරු පක්ෂය’ පරදවමින්, 1977 දී මෙනාඛම් බෙගින්, ඊශ්‍රායලයේ 6වන අගමැති ලෙස පත්විය.
මේ දෙදෙනා, ඇමරිකාවේ ජනාධිපතිවරුන්ගේ නිවාඩු නිකේතනය පිහිටා ඇති “කෑම්ප් ඩේවිඩ්” නැමති ස්ථානයේ, එකල ඇමරිකාවේ ජනාධිපති වූ ජිමී කාටර්ගේ මැදිහත්වීමද ඇතුව, දවස් 12 ක රහස් සාකච්ඡාවක්, 1978 සැප්තැම්බර් මාසයේ දී පැවැත්වුහ. එහි ප්‍රතිඵලය වූයේ, 1979 දී ඊශ්‍රායලය සහ ඊජිප්තුව අතර “සාම ගිවිසුමක්” අත්සන් කිරීමයි. ඒ කරණකොටගෙන බෙගින්ට සහ සදාත්ට “නොබෙල් සාම ත්‍යාගයද” ප්රදානය කරන ලදි.
මේ ලිපිය ආරම්භයේදී කියා සිටි ප්‍රකාර, සෑම යුද්ධයකදීම අරාබි හමුදා වලට නායකත්වය ලැබුණේ ඊජිප්තුවෙන් හෙයින්, මෙම සාම ගිවිසුමෙන් පසු, මේ වනතෙක් ඊශ්‍රායලයේ හමුදා සහ අරාබි හමුදා අතර යුද්ධයක් සිදුවී නැත. එනමුත් ත්‍රස්ත ක්‍රියා සහ ‘ශුද්ධවූ යුද්ධය’ නැමති ඉන්ටිෆාඩා ලෙස හඳුන්වන, නොයෙකුත් ගැටීම් සහිත උද්ඝෝෂණ සිදුව ඇත.
ඊශ්‍රායලයේ 11 වන අගමැති වූ ආරියෙල් ෂැරෝන්, වර්ෂ 2005හේ අගෝස්තු සහ සැප්තැම්බර් මාස වලදී, ගාසා තීරයේ තිබූ යුදෙව් ජනාවාස 21 ක් ඉවත්කර, ඊශ්‍රායලයේ හමුදාවද එම තීරයෙන් ඉවතට ගෙනාවේ, කිසිඳු සාකච්ඡාවකින් තොරව කෙරුණු, ඊශ්‍රායෙල් ආණ්ඩුවේ ඒක පාර්ශවික ක්‍රියාවක් ලෙසය.
2006 වසරේ, ‘ගාසා තීරයේ’ පැවතුනු මැතිවරණයෙන් ‘හාමාස්’ නැමති කණ්ඩායම ජයග්‍රහනය කලේය. අනතුරුව 2007දී ඔවුහු, PLO කණ්ඩායමේ පලස්තීන නිළධාරීන් පන්නා දමා, මුලු ගාසා තීරයේම බලය අත්පත් කර ගත්තේය. එතැන් පටන් මේ වන තෙක්, දකුණු ඊශ්‍රායලයේ පිහිටි යුදෙව් නගරයන් හට නොකඩවා පැමිණෙන ‘රොකට් ප්රහාරයන්’ වලට මුහුණ දීමට සිදුව ඇත. එම තීරයේ සිටින ‘අල් අක්සා ප්‍රාණ පරිත්‍යග සේනාංකය’ සහ ‘ෆටා’ යන කල්ලි දෙකද, එලෙස රොකට් ප්‍රහාර, අදටත් එල්ල කරති.
ඊශ්‍රායලයට උතුරෙන් පිහිටි ලෙබනනයේ ‘හිස්බුල්ලා’ නැමති ත්‍රස්ත කල්ලිය සිටිති. ඒ නමේ තේරුම ‘අල්ලාහ්ගේ පක්ෂය’ වන අතර, 1992 සිට, ෂියා ඉස්ලාමික කණ්ඩායමක් වන ඔවුන්ගේ නායකයාව සිටින්නේ හසාන් නස්රල්ලායි. ඉරානය ලෙසම ඔවුන්ද, තමන්ගේ අරමුණ වන්නේ, “ඊශ්‍රායලය සහමුලින්ම අතුගා දැමීම” බව, ප්‍රසිද්ධියේ කියා සිටිති. හමාස් සුන්නි ලබ්ධික වූවත්, මේ සියලුම කණ්ඩායම් වල ‘අරමුණද’ එයම වේ. ඒ සඳහා ඔවුනට ආයුධ, මුදල් සහ පුහුණු කිරීම් යනාදී සියලුම සහයෝගයන්, ප්රමුඛ වශයෙන් ලැබෙන්නේ ෂියා ලබ්ධික ඉරානයෙනි.
2011 දී ජනාධිපති අසාද්ට විරුද්ධව සිරියාවේ සිවිල් අරගල ඇරඹුනි. රුසියාවේ සහයෝගයද ඔහුට ඇත. එහි න්‍යෂ්ටික ආයුධ ඇති බවට තොරතුරු ලැබීමත් සමග IAEA නැමැති ලෝක න්‍යෂ්ටික ආයුධයන් පිළිබඳ පරික්ෂණ කෙරෙන සංවිධානය මගින්, එහි අගනුවර වූ දමස්කයට නියෝජිතයින් යවා පරික්ෂා කිරීම් සිදුකෙරුණු හැටිද, මීට වසර ගණනාවකට පෙර ලෝක මාධ්‍යයෙන් පෙන්නුවේය. ඒවායේ අනතුරු සහගත තත්වයන් ‘ක්‍රියා විරහිත’ කල බවට පසුව ප්‍රකාශ කෙරුණි. එනමුත් අරගලයන් නැවතුනේ නැත. ‘කුර්දි’ වරුන්ද එම අරගලයන්ට සහයෝගය දැක්වූහ. මේ හේතූන් කරණකොටගෙන ඇමරිකාව සහ තුර්කියද විටින් විට සිරියාවේ සමහර ප්‍රදේශ වලට පහර දීම ඇරඹීය. තුර්කියෙන් විශේෂයෙන්ම පහර දෙනු ලැබුවේ, ඉහත සඳහන් කුර්දිවරුන් සිටින ප්‍රදේශ වලටය. ඒ සියල්ලේ ප්‍රතිඵලය ලෙස හොම්ස් සහ අලෙප්පෝ යනාදී නගර විනාශ වූවත්, අගනුවරවූ ‘දමස්කය’ තවමත් එලෙසම පවතී.
හිස්බුල්ලා කණ්ඩායමට ඉරානයෙන් අවි ආයුධ ලැබෙන්නේ සිරියාව හරහාය. එසේ කරනු ලබන්නේ ඔවුන් විසින් ඊශ්‍රායලයට පහර දීම උදෙසායි.
එම නිසා ඊශ්‍රායලයේ ගුවන් හමුදාවද, ලෙබනනයේ ඇති හිස්බුල්ලාට අයත් යුධායුධ ගබඩා වලට පහර දෙන අතර, ඉරානයේ සිට පැමිණෙන යුධායුද රැගත් ට්රක්රථ, දමස්කයට නුදුරුව ගමන් කරද්දී පවා, ඒවා විනාශ කරති.
මේ සෑම දෙයින් පෙන්නුම් කෙරෙන්නේ, යෙසායා අනාගතවක්තෘ විසින් මීට වසර 2700 කට පෙර කිවු “අනාවැකිය”, නුදුරු අනාගතයේදී සම්පූර්ණ විය හැකි බවයි.
ඊජිප්තුවට පසු යොර්දානයද ඊශ්‍රායලය සමග සාම ගිවිසුමකට 1994 දී අත්සන් තැබීය. පසුගිය වසරේ අගෝස්තු මස, ජනාධිපති ට්‍රම්ප්ගේ අවසාන නිල කාලයේදී, “ආබ්‍රහම්ගේ සම්මුතිය” (Abraham’s Accord) නමින් ගිවිසුමක්, ඊශ්‍රායලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයන් සහ බහරේන් යන රටවල් අතර සිදුවූ බව බොහෝ දෙනෙකුට මතක තිබෙනවා ඇත.
එනමුත් දමස්කය විනාශවූ විගසම, මේ සාම ගිවිසුම් අත් හැර දමමින්, සියලුම අරාබි රටවල් ඊශ්‍රායලයට විරුද්ධව මීලඟ සටනට පෙළගැසෙනු ඇත.
එම තත්වය උද්ගතවන බව, ඊශ්‍රායලය වටා තිබෙන රට වලට, ‘පුරාතනයේ භාවිතා වූ නම්ද’ සහිතව, බයිබලයේ, ගීතාවලිය නැමැති පොතේ 83 වන පරිඡේදයේ සඳහන්ව තිබේ. එහි 6-8 වන පද දක්වා සඳහන් වන ඒ නම් අතර, සිරියාවට එවකට භාවිතා වූ ‘ආරාම්’ යන නාමය හෝ ‘ලෙවාන්ට’ යන නාමය හෝ දකින්නට නොලැබේ.
ඊට හේතුව විය හැක්කේ, දමස්කය විනාශ වූ කල එම රටේ ‘කිසි බලයක්’ නොමැති වීමයි. මෙලෙස මැදපෙරදිග “මීලඟ යුද්ධය”, ඉතා කඩිනමින් ආරම්භ විය හැක.