ඉතිහාසය ප්‍රකාර ක්‍රි.පූ. 2100 ගණන් සිට නොයෙකුත් පාර්ශවයන් සාම ගිවිසුම් වලට එළඔ ඇත.
“සාම ගිවිසුම” යන්න අර්ථ දැක්වෙන්නේ, “යුධ වැදී සිටින දෙපාර්ශවයක් (රටවල් හෝ ආණ්ඩු වැනි) අතර, එම යුද්ධය අවසන් කෙරෙන නීත්‍යානුකූල ගිවිසුමක්” ලෙසය. පළමුවෙන් සටන් විරාමයකට එළඹී, පසුකාලීනව ‘සාම ගිවිසුමක්’ කරණකොටගෙන නොයෙකුත් කොන්දේසි පැනවීම සිදුකෙරේ. එවැනි ගිවිසුම් තුල, පහත දැක්වෙන කොන්දේසි 3 පොදුවේ දක්නට ලැබේ.
- පරාජිත පාර්ශවය නිරායුධ විය යුතු අතර, ඔවුන්ගේ යුධ හමුදාවන් හා යුධ උපකරණ වලට සීමාවන් පැනවීමක් සිදුකෙරේ.
- පරාජිත පාර්ශවය ජයග්රාහික පාර්ශවයට යුධ වන්දි ගෙවිය යුතුවේ.
- පරාජිත පාර්ශවයට යම් භූමීන් අහිමි වේ.
මෑත ඉතිහාසයේ සිදුවූ වැදගත් සාම ගිවිසුම් කෙරුනේ 20 වන ශතවර්ෂයේ ඇතිවූ ලෝක සංග්රාම දෙකට පසුව වේ. පළමුවන ලෝක සංග්‍රාමයට පසුව සාම ගිවිසුම් 5 ක් අත්සන් කරන ලදි. වැදගත්ම සාම ගිවිසුම ප්‍රංශයේ වාසේල්, නුවර 1919 ජුනි 28 වන දින අත්සන් කරනු ලැබිණි. ඒ ප්‍රකාර ජර්මනිය වෙත පහත සඳහන් ප්‍රධාන කොන්දේසි තුන පනවන ලදි.
- ඔවුන්ගේ හමුදාව, සොල්දාදුවන් ලක්ෂයකට සීමා කිරීම;
- යුධ නෞකා, 6 කට සීමා වීම සහ ගුවන් හමුදාවක් පවත්වාගෙන යාම තහනම් වීම; (රයිට් සහෝදරයින් විසින් ප්‍රථම වරට ගුවන් යානයක් අහස් ගත කරන ලද්දේ 1902 දී හෙයින්, 1919 වන විට එතරම් ගුවන් යානා නිෂ්පාදනය කර නොතිබුනි).
- ජර්මනිය විසින් යුධ වන්දි ලෙස එංගලන්තයට සහ ප්‍රංශයට රන් පවුං මිලියන 6,600 ක් ගෙවිය යුතුව තිබුණි. පසුකාලීනව එය සංශෝධනය කරන ලදි.
පෝලන්තයට සහ ප්‍රංශයට, ජර්මනිය විසින් අත්පත් කරගෙන තිබූ භූමි නැවත ලැබුනු අතර, ජර්මනියට අයත් අනිකුත් ‘කොළොනි’ සියල්ලමද අහිමි විය.
දෙවනි ලෝක සංග්‍රාමය අවසන් වූයේ 1945 දීය. එනමුත් ප්‍රංශයේ පැරිස් නුවර සාම සාකච්ඡාවන් 1946 ජූලි 29 වන දා සිට ඔක්තෝම්බර් 15 වන දා දක්වා පැවැත්විණි. ‘සාම ගිවිසුම්’ අත්සන් කරනු ලැබුවේ 1947 පෙබරවාරි 10 වන දින වේ.
ඒ ප්‍රකාර ලිබියාව සහ නැගෙනහිර අප්‍රිකාවේ තිබූ අනෙකුත් ‘කොළොනි’ ඉතාලියට අහිමි වුනි. ෆින්ලන්තය, හංගේරියාව, රුමේනියාව සහ බල්ගේරියාව, ජර්මනිය විසින් යටත් කරගෙන තිබූ නුමුත් එම රටවල් නැවත වරක්, යම් දේශ සීමාවල වෙනස්කම් ඇතිව නිදහස ලබා ගත්හ .
දෙවනි ලෝක සංග්‍රාමයේ දී වැඩිවශයෙන්ම හානි සිදුවූ “මිත්‍ර හමුදා” රට වූයේ සෝවියට් දේශයයි. එහෙයින් යුධ වන්දි ප්‍රමාණයෙන් වැඩි කොටසක් ඔවුනට හිමිවිය යුතු බව තීරණය වුණි.
මෙම ගිවිසුම 1947 පෙබරවාරි මස 10 වෙනිදා අත්සන් කරනු ලැබුවත්, වන්දි ගෙවීම සඳහා නියමිත ‘මිළ ප්‍රමාණය’ තීරණය වූයේ, 1938 තිබූ මිළ ගණන් ප්‍රකාර වේ. එහෙයින් සෝවියට් දේශයට ඇමරිකානු ඩොලර් මිලියන 600 ක වන්දියක්, පරාජිත රටවලින් ලැබුණි.
මෑත ඉතිහාසයේ සිදුවූ විශේෂිතම “සාම ගිවිසුම්” කරණකොටගෙන, පරාජිත රටවල් වලට පනවන ලද කොන්දේසි ඒවා වේ.
ඒවා මතකයේ තබාගෙන, අප දැන් ඊශ්‍රායලය විසින් කරන ලද “සැම ගිවිසුම්” වෙත යොමු වෙමු.
“ඊශ්‍රායලය ලෝක සිතියමෙන් අතුගා දමන” බවට හෝ “යුදෙව්වන් මධ්‍යධරණී මුහුදේ ගිල්වා මරණ බව” පවසමින්, 1948 මැයි 15 වන දා සිට 1973 ඔක්තෝම්බර් මස දක්වා අරාබි හමුදා, ඊශ්‍රායලයට විරුද්ධව යුද්ධ 4 ක් ආරම්භ කලහ. ඒ සෑම යුද්ධයකින්ම ඊශ්‍රායලය ජයගනිමින්, තිබුණාට වඩා වැඩිපුර භූමි ප්‍රමාණයන්ද අත්පත් කරගත්තේය.
අවසානයට 1973 “යොම් කිපූර්” යුද්ධය නමින් හැඳින්වෙන යුද්ධයේදී ඊශ්‍රායලය, ඊජිප්තුව පරදවමින් දකුණින් ‘ගාසා තීරය සහ සීනායි ප්‍රදේශය’ අත්පත්කර ගත්තේය. නැගෙනහිරින් යොර්දානය පරදවමින් ‘බටහිර ඉවුර’ ලෙස පළමුවන අබ්දුල්ලා රජ නම් කල, බයිබලය ප්‍රකාර “යුදෙයාව සහ සමාරියව” ඇතුළුව මුලු යෙරුසලම් නගරයද අත්පත්කර ගත්තේය. උතුරින් සිරියාව පරදවමින් ගෝලාන් කඳුවැටිය, ඊශ්‍රායලය යටපත් කරගත්තේය. මේ ආකාරයෙන් පැති තුනකින් ඔවුන්ට විරුද්ධව පැමිණියාවූ අරාබි හමුදාවන් පරදවා, එම අරාබි රටවලට අයත්ව තිබූ භූමින් අත්පත් කරගත්තේය. බටහිරින් තිබෙන්නේ මධ්‍යධරණී මුහුද පමණක් හෙයින්, ඒ දෙසින් කිසිම හමුදාවක් පහර නොදුනි.
එලෙස භූමීන් අත්පත් කරගෙන සිටි ඊශ්‍රායලය, ‘සාම ගිවිසුම්’ හට අවතීර්ණ වූයේ, අවසාන යුද්ධයද නිමවී අවුරුදු 4 කටත් පසුවය.
1970 දී ඊජිප්තුවේ ගමාල් අබ්දුල් නසාර් මියගිය පසු, අන්වාර් සදාත් එහි 3 වන ජනාධිපති ලෙස බලයට පත් වුනි.
1977 මෙනාඛම් බෙගින් ඊශ්‍රායලයේ 6 වන අගමැති ලෙස පත්වූයේ, දශක තුනක් පුරා ආණ්ඩු කළ ‘කම්කරු පක්ෂය’ පරදවමින්, දක්ෂිනාංෂික ලිකුඩ් පක්ෂයට නායකත්වය දෙමිනි.
1978 ඇමරිකාවේ ජනාධිපති ජිමී කාටර්ගේ මැදහත්වීමෙන්, දවස් 12 ක ‘රහස් සාකච්ඡාවන්’ ජනාධිපති නිවාඩු නිකේතනයක් වන “කෑම්ප් ඩේවිව්” හි පැවැත්වුණි. බෙගින්, තමන්ගේ ආරක්ෂක ඇමති එසර් වයිස්මාන් සහ විදේශ ඇමති මොෂේ ඩයාන් යන දෙදෙනා සමග පැමිණි අතර සදාත්, භූත්රෝස් භූත්රෝස් ගාලි නැමැත්තා සමග පැමිණියේය. පසුකාලීණව භූත්රෝස් භූත්රෝස් ගාලි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ධූරයටද පත්වුනි.
එම සාකච්ඡා වල ප්‍රතිඵලය වූයේ, ඊශ්‍රායලයට අයත්ව තිබූ සීනායි මුලු භූමියම, නැවත ඊජිප්තුවට ලබාදීමයි. එහි එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා කොට්ඨාශයක්ද ස්ථාපිත කරන ලදි. ඒ හැරුණුකොට කිසිම ‘වන්දියක්’ ඊශ්‍රායලයට ලැබුනේ නැත.
මෙය මුලු මිනිස් ඉතිහාසයේම ජයග්‍රාහී පාර්ශවයක් විසින්, තමන්ට අයිති භූමියක්, නැවත වරක් පරාජිත පාර්ශවයක් වෙත, කිසිඳු වන්දියකින් තොරව භාරදුන්, පළමු වතාව වේ.
ඒ තාක් කල් අරාබි හමුදාවන්ට නායකත්වය දුන්නේ ඊජිප්තුව හෙයින්, ඉන්පසු අරාබි හමුදාවන් ගෙන් ඊශ්‍රායලයට පහරදීමක් සිදුවූයේ නැත. ඔවුන්ට ලැබුනු ‘මූලික වාසිය’ එය වේ.
එමෙන්ම මුලු මැද පෙරදිගම තිබුණාවූ තත්වය, එම සාම ගිවිසුම කරණකොටගෙන වෙනස් විය.
ඒ තාක්කල් කිසිම අරාබි රටක් ඊශ්‍රායලය, නිළවශයෙන් පිළිගෙන නොතිබූණි. එනමුත්, එම සාම ගිවිසුමෙන් පසු, අරාබි රටක් වූ ඊජිප්තුව, ඊශ්‍රායලය ‘නීත්‍යානුකූල රාජ්‍යයක්’ ලෙස පිළිගත්තේය.
එමෙන්ම ඊශ්‍රායලයද, “භූමි ප්රදානය කිරීමෙන්, තමන්ට ‘සාමයක්’ ලබාගත හැකිවේය” යන ආකල්පයට පැමිණියේය. ඊට අමතරව ඊශ්‍රායලයේ මෙනාඛම් බෙගින්, ඒතාක් ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධව සිටියේ ‘වගකීමකින් තොරව කටයුත් කරන, විප්ලවවාදී’ කෙනෙක් හැටියටයි. මෙම සාම ගිවිසුමෙන් පසු ඔහු “උසස් රාජ්‍ය තාන්ත්‍රිකයෙක්” ලෙස ගෞරවයට පත්විය. එමෙන්ම බෙගින්ට සහ සදාත්ට, 1978 දී ‘නොබෙල් සාම ත්‍යාගය’ ද පිරිනමන ලදි.
යිට්සැක් රබීන් උපත ලැබුවේ 1922 මාර්තු පළමුවෙනිදා, එවකට පලස්තීනය ලෙස හැඳින්වුනු ඊශ්‍රායෙල් භූමියේයි. 1974දී, මේතාක් ඊශ්රාලෙයේ බිහිවුණු එකම අගමැතිනියවූ ගෝල්ඩා මෙයාර් හට, යොම් කිපූර් යුද්ධය හේතුවෙන් එම ධූරයෙන් ඉවත්වීමට සිදුවූ පසු, යිට්සැක් රබීන් ඊශ්‍රායලයේ 5 වන අගමැති හැටියට පත්වූයේ, ප්‍රථම වතාවට එම ධූරය දරන, ඊශ්‍රායෙල් භූමියේ ඉපදුනු කෙනා හැටියටයි. එනමුත්, නොයෙකුත් හේතුන් මත 1977දී ඔහුට එම පදවියෙන් ඉල්ලා අස්වීමට සිදුවුනි. පසුකාලිනව නෙටානියාහු, ටෙල් අවිව්හී සහ වර්තමාන අගමැති නෆ්ටාලි බෙනට්, හයිෆාහී උපත් ලබන කල, දේශයට ව්යවහාරවූයේ පුරාතනයේ තිබූ ‘ඊශ්‍රායෙල්’ යන නාමයයි.
කෙසේ වූවත්, 1992දී නැවත වරක් ඊශ්‍රායලයේ අගමැති ධුරයට පත්වූ යිට්සැක් රබීන්, යසාර් අරෆට් සමග “ඔස්ලෝ සම්මුතිය” නමින් හඳුන්වනු ලබන “සාම ගිවිසුම්” දෙකකට අත්සන් තැබීය.
පළමුවැන්න ඇමරිකාවේ ජනාධිපති බිල් ක්ලින්ටන් හමුවේ 1993 දී වොෂිංටන් නුවර අත්සන් කරනු ලැබූ අතර, දෙවැන්න 1995දී ඊජිප්තුවේ ‘තාබා’ නගරයේදී අත්සන් කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස පලස්තීන විමුක්ති සංවිධානය (PLO) විසින්, ඊශ්‍රායලය ‘නීත්‍යානුකූලව පිළිගන්නා බව’ ප්‍රකාශ කරන ලද අතර, ඊශ්‍රායලයද, පලස්තීන විමුක්ති සංවිධානය (PLO) ත්‍රස්තවාදී සංවිධානයක් වෙනුවට, ‘සාම ගිවිසුම් සඳහා එළඹිය හැකි පාර්ශවයක්’ ලෙස පිළිගත්තේය. එහි සඳහන් කොන්දේසි අන්තර්ජාලයේ විකිපීඩියා (Wikipedia) විශ්ව කෝෂයේ මෙලෙස සඳහන් වේ.
“ඔස්ලෝ සම්මුතිය විසින්, ‘පලස්තීන අධිකාරියක්’ බටහිර ඉවුරේ සමහර ප්‍රදේශ සහ ‘ගාසා තීරයේ’ පාලනය උදෙසා ස්ථාපිත කරනු ලබයි. ඊට අමතරව දේශ සීමාවන්, ඊශ්‍රායල ජනාවාස සහ යෙරුසලමේ ‘අවසන් තත්වය’ යන කරුණු, පසුකාලීනව සාකච්ඡා කරමින් නිරාකරණයකට එළඹීමට පොරොන්දු වනු ලැබේ. ඔස්ලෝ සම්මුතිය ප්‍රකාර, පලස්තීන අධිකාරියක් මිස, ‘රාජ්‍යයක්’ ස්ථාපිත වනු නොලැබේ. ඊශ්‍රායලය විසින් පලස්තීන අධිකාරියට අයත් ප්‍රදේශ වලට, තමන්ගේ පාලනය භාර දිය යුතුවේ.”
“1993දී ඔස්ලෝ සම්මුතිය අත්සන් කරන කල පලස්තීන දේශසිමා තුල, ‘රාජ්‍යයක් හෝ පාර්ලිමේන්තුවක් නොතිබුණි. ‘පලස්තීනු අධිකාරිය’ද ස්ථාපිත කරනු ලැබුවේ, 1994 ගාසා – යෙරිකෝ එකඟතාවය මතවේ.” (උපුටා දැක්වීම අවසන්)
පලස්තීනුවෝ බහුතරයක් මීට විරුද්ධව අදහස් ප්‍රකාශ කලහ. “ජර්මනියට වූ දේ පලස්තීනයට වුනා” ලෙස එඩ්වඩ් සයීඩ් නැමති දාර්ශණිකයාද ප්‍රකාශ කර සිටියේය.
1994 ඔක්තෝම්බර් 26 වන දින, ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ මැදිහත්වීමෙන්, ඊශ්‍රායලයත් යොර්දානයත් අතර ‘සාම ගිවිසුමක්’ අත්සන් කරන ලදී. යොර්දානයේ පලස්තීනුවන් බොහොමයක් සිටියත්, ඊට කිසිම ‘පලස්තීන නියෝජිතයෙක්’ කැඳවනු නොලැබිණි.
මීට ඉහතද මෙම වෙබ් අඩවියේ පෙන්නුම් කර දී ඇති ප්‍රකාර, ඉහත සඳහන් Wikipedia උපුටා දැකිවීමෙහිද පැහැදිලිව සඳහන් වන්නේ, “පලස්තීන රාජ්‍යයක් හෝ ආණ්ඩුවක්” ඉතිහාසයේ කිසි කලෙකත් නොතිබූ බවයි.
ඊශ්‍රායලය, තමන්ගේ පැවැත්ම සඳහා, තමන්ට විරුද්ධව පැමිණි හමුදා පරදවමින් ‘භූමී කොට්ටාසයන්’ අල්ලාගෙන තිබුනේ ඊජිප්තුව, යොර්දානය සහ සිරියාව යන රටවල් වලිනි.
1967දී ‘බටහිර ඉවුර’ නැමති කොටස ඊශ්‍රායලය අත්පත් කරගත් පසුවත්, ‘එම ඉවුර සහ ඊශ්‍රායෙල් භූමිය’ අතර, යුදා හා පලස්තීන මිනිසුන්ගේ ගමන් වලට, කිසිඳු සීමාවක් පනවා තිබුණේ නැති හෙයින්, ඔවූහූ නිදහසේ ඔබමොබ ගියහ. යුදෙව්වන් බොහොමයක්, ‘බටහිර ඉවුරේ’ තිබුණාවූ පලස්තීන ආපනශාලා වලට ගියේ, “හුම්මුස්” නැමති කෑම වර්ගය, ඉතා රසවත් ලෙස පිළියෙල කළ හැක්කේ පලස්තීනුවන්ට බව, කවුරුත් දැන සිටි නිසාවෙනි.
නුමුත්, මේ ‘ඔස්ලෝ සම්මුතියට’ පසුව එහි පැමිණි යසාර් අර්ෆට්, ‘පලස්තීන අධිකාරියට’ අයත් ප්‍රදේශ වලට, “යුදෙව්වන් පැමිණීම තහනම්” කළේය. මෙලෙස වසර 25 කටත් වැඩි කලක් එම ප්‍රෙද්ශය ඊශ්‍රායල රාජ්‍යය යටතේ තිබියදී ඕනෑම කෙනෙකු හට තිබුනා වූ නිදහස, යසාර් අර්ෆට් විසින් ඉවත්කරන ලදි. එතැන් පටන් යුදෙව් මිනිසුන් හට එම ප්‍රදේශ වලට යාමට නොහැකිය.
“ජාතිවාදය” සම්බන්ධ චෝදනාව, ලෝක මාධ්‍ය මගින්, බොහෝ විට ඊශ්‍රායලය වෙත යොමු කෙරේ. එනමුත් “පලස්තීනුවන්ට ඇතුල්වීම තහනම්” යන ‘නාම පුවරු’, කිසිම ස්ථානයක නොමැති බව, ඊශ්‍රායෙල් දේශයට, වන්දනා හෝ විනෝද චාරිකා ලෙස ගොස් ඇති, ඕනෑම කෙනෙකු හට සත්‍ය වශායන්ම කිවහැකි දෙයකි. එමෙන්ම එවැනි අයහට දැකගත හැකි තවත් කරුණක් වන්නේ, ඔවුන් යෙරිකෝවට හෝ බෙත්ලෙහෙමට යන කල, එම දේශ සීමාවේදී බසයේ සිටින යුදෙව් රියදුරා සහ මඟපෙන්වන්නා රියෙන් බැස, ‘පලස්තීනු’ රියදුරෙක් හා මඟපෙන්වන්නෙක් ඇතුළුවී, යෙරිකෝවේ සහ බෙත්ලෙහෙමේ සංචාරක මඟපෙන්වීම් සිදුකරන බවයි. නැවතත් එම දේශයෙන් ඉවත්වන කල, සුපුරුදු යුදෙව් රියදුරා සහ මඟපෙන්වන්නා ආපසු බස් රථයට පැමිණේ. යුදෙව් මිනිසුන් හට එසේ කරන්නට සිදුවූවත්, බස් රථයේ සිටින්නේ ‘පලස්තීනු’ රියදුරෙක් හා මඟපෙන්වන්නෙක් නම්, ඔවුන්ට ඊශ්‍රායලය පුරාවටම, කිසිඳු ‘තහංචියකින්’ තොරව ගමන් කලහැකි බවද, එහි දේශ සංචාරයේ යෙදෙන ඕනෑම කෙනෙකු හට, මනාව දැකගත හැකි සත්‍යතාවයකි. එයින් පෙන්නුම් කෙරෙන්නේ, ‘ජාතිවාදය’ යන වචනය ඊශ්‍රායලයේ ආණ්ඩුවට නොව, ‘පලස්තීනු අධිකාරිය’ හට ගැලපෙන්නක් බවයි.
එපමණකුදු නොව, හේබ්‍රෙව් බසින් “කෙනෙසෙට්” නමින් හඳුවනු ලබන ඊශ්‍රායෙල් පාර්ලිමේන්තුවේ, පළමු වැන්නේම අරාබි මංත්‍රීවරු තිදෙනෙක් වූහ. එතැන් පටන් සෑම කෙනෙසෙට් සභාවකම අරාබි මංත්‍රීවරු හිඳ ඇත. මෙම වෙබ් අඩවියේ මීට කලින් ලිපියේද සඳහන් කල පරිදි, 1960 ගණන් වනතෙක් ‘පලස්තීනුවන්’ යන නාමයෙන් හඳුන්වනු ලැබූ මිනිස් කොට්ටාශයක් එම දේශයේ නොවූහ. එහෙයින් මුල් කෙනෙසෙට් සභාවේ පමණක් නොව, මේ වනතෙක්ම යුදෙව් නොවන කෙනෙසෙට් සභිකයන් ‘අරාබි’ මන්ත්‍රීවරුන් ලෙස හඳුන්වනු ලබන අතර, ඔවුන්ගේ පක්ෂවල නාමයන්ද ‘අරාබි පක්ෂ’ ලෙස තවමත් ව්‍යවහාරවේ. එපමණකදු නොව, 120 දෙනෙකුගෙන් සමන්විත කෙනෙසෙට් සභාවේ, මේ වර අරාබි මංත්‍රීවරුන් 14ක් සිටින අතර, “වර්තමාන ඊශ්රයෙල් ආණ්ඩුවේ” පාර්ශවයක් ලෙසද, 4 දෙනෙකුගෙන් සමන්විත ‘රා-අම්’ නැමැති අරාබි පක්ෂය කටයුතු කරයි.
දකුණු අප්‍රිකාවේ “අපාර්තයිඩ්” (Apartheid) නම්වූ එම ‘ජාතිවාදය / වර්ගවාදය’ පැවතුනු කල, එවැන්නක් ‘හීනෙකින්වත් හිතාගත නොහැකි’ දෙයක් වන්නේ, එහි එකල ‘කළු මිනිසුන්’ හට ඡන්දය පාවිච්චි කිරීමටවත් අයිතියක් නොතිබුණු නිසාය.
එහෙයින් ‘ජාතිවාදය / වර්ගවාදය’ යන වචන ඊශ්‍රායෙල් ආණ්ඩුව වෙත එල්ල කිරීම, කිසිඳු සාධාරණත්වයකින් කල නොහැක්කා සේම, සදාචාරාත්මකවද කල නොහැකි දෙයකි.
කලින්ද පෙන්නුම්කල ප්‍රකාර, විචාරාත්මකව “සත්‍ය” සොයන ඕනෑම කෙනෙකු හට, සමීක්ෂණ කර දැකගතහැකි වන්නේ, මිනිස් ඉතිහාසය පුරාවටම, ජයග්‍රාහී රාජ්‍යයක් මගින් තමන්ට හිමි භූමීන්, තමන් පරාජය කල අය වෙත, කිසිදු වන්දියකින්ද තොරව භාරදුන් පළමු අවස්ථා, ඊශ්‍රායලය සිදුකල ඉහත සඳහන් සාම ගිවිසුම් බවයි. එපමණකුදු නොව, ඒවනතෙක් නොතිබුනු සංවිධානයකටද (පලස්තීන), තමන් වෙනත් රාජ්‍යයන්ගෙන් (ඊජිප්තුවෙන් සහ යොර්දානයෙන්) අල්ලාගත් බිම් කොටස්, ‘අධිකාරියක් ස්ථාපිත කිරීම පිණිසද’ ඊශ්‍රායලය මගින් ප්රදානය කරන ලදී.
පළමුවන සහ දෙවන ලෝක සංග්රාමයන්ගෙන් පසු, ලංකාව, ඉන්දියාව වැනි නොයෙකුත් රටවල් හට ‘ස්වාධීනත්වය’ ලැබුණේ, ඒවා කලින් ඉතිහාසය පුරාවටම ස්ථාපිතව තිබූ රටවල් හෙයිනි. එනමුත්, කිසිකලෙකත් නොතිබුණාවූ රාජ්‍යයකට, “අධිකාරියක්” පිහිටුවා ගැනීම සඳහා ‘ඔස්ලෝ එකඟතාවය’ මත යම් ‘භූමි කොට්ටාශයන්’ද පිරිනමන ලදී.
එවැනි දෙයක් ඉතිහාසයේ, කිසිඳු ‘සාම ගිවිසුමක්’ තුළින් සිදුවී නොමැත.
එලෙසම වර්තමානයේ එම ‘පලස්තීනු අධිකාරිය’ තුල උද්ගතවී ඇති තත්වයද විස්තර කලයුතුව ඇත.
ඔස්ලෝ සම්මුතිය ප්‍රකාර පලස්තීනු අධිකාරියට පළමුවෙන් ‘ගාසා තීරය’ද හිමිවූ බව, ඉහත සඳහන් විකීපීඩියා උපුටා දැක්වීම අනූවද දැකගත හැක. 2005දී, එවකට ඊශ්‍රායලයේ අගමැතිවූ ආරියෙල් ෂැරෝන්, ‘ඒක පාර්ෂීය’ තීරණයක් පරිදි, ගාසා තීරයේ වසර 40ට ආසන්න කාලයක් පුරාවට වාසය කල යුදෙව් පවුල් බලහත්කාරයෙන් ඉවත් කර, ඔවුන්ගේ ආරක්ෂාවට සිටි ඊශ්‍රායෙල් හමුදා බලඇණියද ආපසු කැඳවා, පලස්තීනු අධිකාරියට ගාසා තීරය බාර කලේ, එහි චන්දයක් පවත්වා පාලනය භාර ගැනීමට ඉඩ හරිමිනි.
නුමුත් 2006යේ පැවැත්වුනු එම චන්දයෙන් ජයගත්තේ ෆටා පක්ෂය ප්රමුඛ පලස්තීනු අධිකාරිය නොව, හමාස් යන ‘සටන්කාමි’ පක්ෂයයි. 2007 ජූනි මස, ගාසා තීරයේ එතෙක් තිබුණාවූ ‘පලස්තීනු අධිකාරියේ’ කාර්යාලයට ඇතුළුවූ හමාස් කණ්ඩායම, එහි සිටි PLO සාමාජිකයන් පන්නා දමා, මුළු ‘ගාසා තීරයම’, බලහත්කාරයෙන් තමන් යටතට ගත්තේය. එතැන් පටන් දකුණු ඊශ්රාලෙයේ නගරයන්හී පදිංචි යුදෙව් මිනිසුන් හට, හමාස් සහ අනෙකුත් ත්‍රස්ත කංඩායම් එවන රොකට් ප්රහාරයන්ට නිරතුරුව මුහුණ පාන්නට වුණි.
2006 ජනවාරි 26දායින් පසු, පලස්තීනු අධිකාරිය යටතේ පවත්නා ‘බටහිර ඉවුරේ’ ප්‍රදේශවල පාලනය සඳහා වරින්වර මැතිවරණයන් පවත්වන්නට තීරණයවූ නුමුත්, සෑමවිටම කල්දමන ලදී. මෙම වසරේ මැයි මස 22දා එහි චන්දයක් පැවැත්වීමට තීරණයවී තිබුණත්, අප්‍රේල් 29දා, යසර් අරෆට්ගේ අභාවයෙන් පසු එහි පාලනය දරන මොහමඩ් අබ්බාස්, ඒ මැතිවරණයද දින නියමයකින් තොරව කල් දැම්මේය. ඊට හේතුවූයේ, ඔවුන් කල සමීක්ෂණ අනූව, ‘හමාස් පක්ෂය ජයග්‍රහණය කරන බව මනාව පෙණුනු නිසා’ යැයි කියැවේ.
එසේ නම්, ට්‍රෝයි නුවර පිළිබඳව ග්‍රීක ප්රබන්ධයන්හී සඳහන් “ට්‍රොජන් අශ්වයා” හා සමාන තත්වයකට, ඊශ්‍රායෙල් රජයට මුහුණදීමට සිදුවේදෝයි? ප්‍රශ්නයක්ද මතුවේ. ඒ කථාව කෙටියෙන් මෙසේය.
දශකයක පමණ කාලයක් ග්රීක්වරු ‘ට්‍රෝයි’ නුවර වටලා සිටියත්, යටපත් කරගැනීමට නොහැකිවිය. එකල ඔඩිස්සිඋස් නැමැත්තා, විශාල “ලී අශ්වයෙක්” සාදන ලෙස ග්‍රීකයන්ට කීවේය. එය සාදා නිමවූ පසු, දිනක රාත්‍රි කාලයේ එය නුවර අසබඩ තිබූ මුහුදු වෙරළේ තබා, ඔහුද ඇතුළුව, දක්ෂතම ග්‍රීක රණකාමියෝ එය තුළටවි දොර වසිගත්හ.
පසුදා උදෑසන ග්‍රීක නැව්, ට්‍රෝයි වැසියන්ට ‘පෙනෙන ලෙස’ ආපසු ගියහ. ග්‍රීකයෝ පසුබටව හැරීයන්නෝ යැයි සිතූ ඔවුන්, උන්මාදව එම ‘ලී අශ්වයා’ තම නුවර තුලට ගෙනගියේ, ට්‍රෝයි නුවර ලාංඡනයද ‘අශ්වයා’ නිසා වියහැක. රාත්‍රි කාලයේ ජය සාද පවත්වා ඔවුන් නින්දට ගියපසු, ලී අශ්වයා තුල සිටි ග්‍රීකයෝ ඉවතට පැමිණ, කලින් සැළසුම්කල පරිදි, ආපසු පැමිණි ග්‍රීක නැව්වල සිටි භටයන්ට ඇතුළුවීම සඳහා නුවර දොරටු විවෘත කල පසු, ට්‍රෝයි නුවර අල්ලා ගැනීම පහසුවෙන්ම කලහැකිවිය.
එහෙයින් ආක්‍රමණය කර අල්ලාගත නොහැකි ස්ථානයක් හෝ දෙයක් තුලට, කූට උපක්‍රම මගින් ඇතුල්වී අත්පත් කර ගැනීම, ‘ට්‍රෝජන් ලී අශ්වයකු භාවිතා කිරීම’ ලෙස හඳුන්වනු ලැබේ. වර්තමානයේ පරිගණකයකට හෝ දුරකථනයකට යම් පණිවිඩයක් එවා, එය විවෘත කළවිට ‘වයිරසයක්’ ඇතුල් වීමට සැළසීමද, ‘ට්‍රෝජන්’ ලෙසින් හැඳින්වේ.
යොර්දාන හමුදා පලවා හැර අල්ලාගත් ප්‍රදේශවල, ‘පලස්තීන අධිකාරියක්’ ස්ථාපිත කිරීමට ඉඩදෙන කල, දිනක එහි ‘හමාස්’ ත්‍රස්ත කංඩායමට ‘ඉඩක් ලැබේයැයි’, කිසිවෙක් සිතන්නට නොමැත. නුමුත් වර්තමානයේ එහි වසන ‘පලස්තීන ජනතාව’ වැඩි වශයෙන් ඇහුම්කන් දෙන්නේ හමාස් නායකයන් පවසන දේටය.
එහෙයින්, මැතිවරණයක් නොපැවැත්වුනත්, හමාස් නායකයින් පැවසුවහොත්, අබ්බාස්ගේ පාලනයට විරුද්ධව ‘විප්ලවයක්’ වැනි අරගලයක් කිරීමට වුවත්, ඔවුන් පෙළඹෙන බවට කිසිම සැකයක් නැත.
එවැන්නක් සිදුවී, එම ප්‍රදේශවල පාලනයත්, ‘හමාස්’ ත්‍රස්ත කංඩායමට අයත් වුවහොත්, ඊශ්‍රායෙල් ආණඩුවට මුහුණ පාන්නට වන්නේ, ඉතාමත් අන්ත්රාකාරි තත්වයකටය.
එවිව ‘එකම බලාපොත්තුව සහ සහනය’ වන්නේ, බයිබලයේ සඳහන් දෙවිඳුන්ගේ පොරොන්දු පමණි. ඒවායින් එකක් ගීතාවලියේ 121කේ 3 සහ 4 වන පදවල මෙලෙස ලියැවී තිබේ.
“ඔබ ආරක්ෂාකරන තැනැන්වහන්සේ නොනිදනසේක. බලව, ඊශ්‍රායෙල් ආරක්ෂාකරන තැනැන්වහන්සේ හට, නිදිබර වීමක්වත්, නිදාගැනීමක් වත් නැත්තේය”.