යුදෙව් මිනිසුන්, රෝම අධිරාජ්‍යය මගින් ක්‍රි. ව. 70දී සහ 135දී තමන්ගේ දේශයෙන් පිටමං කලපසු මුළු ලොව පුරා විසිර ගියහ. එනමුත් පදිංචිවූ සෑම රටකම ඔවූහූ ‘යුදෙව් විරෝධි ක්‍රියාවන්ට’ මුහුණ පෑහ.
බොහෝ අවස්ථාවන්හිදී, ශතවර්ෂ ගණනාවක් පවා පදිංචිව සිටි ප්‍රදේශ හෝ රටවලින් පළවා හරිනු ලැබූහ. උදාහරණයක් ලෙස ක්‍රි.ව. 1290 දී පළමුවන එඩ්වඩ් රජ, “සියලුම යුදෙව් මිනිසුන්” එංගලන්තයෙන් පලවා හැරියේය. ක්‍රි.ව. 1657 දී බ්‍රිතානයේ නායක ඔලිව ක්‍රොම්වෙල්, නොයෙකුත් හේතුන් මත, ඔවුන්ට ආපසු ඒමට දොර විවෘත කළේය.
මෙලෙස පීඩනයන්ට මුහුණ දීමට හේතුවූ එක ‘සාමාන්‍ය කරුණක්’ වූයේ, ඔවුන් ඒ සියලුම රටවල “සීඝ්රයෙන් දියුණු වීමයි”. දෙවියන්වහන්සේ ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් සමග කළාවූ ගිවිසුම පරිදි, ඔවුනට “සම්පත් ලබාගැනීමට ‘පුළුවන්කම’ දෙන බව” පැවසුවේ යැයි, ද්වීතිය කථාව 8:18 සඳහන්ව ඇත. මෙලෙස පන්නා දමන ලද යුදෙව්වන්ගේ වස්තුව එම දේශයන්හී වැසියෝ හිමිකරගත්හ.
ක්‍රි.ව. 1564 දී උපත ලැබූ ඉංග්‍රීසි ගත්කරු විලියම් ෂේක්ස්පියර් මිය ගියේ 1616 දීය. ඒ යුදෙව් මිනිසුන් හට, නැවත එංගලන්තයට පැමිණීමට ඉඩ ලැබීමට අවුරුදු 40 කටත් පෙරාතුවය. එමනිසා ඔහු මුළු ජීවිතය පුරාවටම කිසිම ‘යුදෙව් මිනිසෙකු’ දැක නොතිබුණත්, “වැනීසියේ වෙළෙන්දා” නැමැති ග්‍රන්ථයේ, ‘දුෂ්ට මිනිසෙකු’ ලෙස ඔහු පෙන්නුම් කරන්නේ, ෂයිලොක් නැමැති, ‘පොලියට මුදල් දෙන’ යුදෙව් ජාතිකයෙකි. එයින්ම ඉංග්‍රීසීන් අතර, ‘යුදෙව් මිනිසුන්’ පිළිබඳ තිබුණාවූ ‘පිංතූරය’, කදිමට පෙන්නුම් කෙරේ.
තමන් “යුදෙව් අය” වූ හෙයින්ම, ඔවුන්ට අත්විඳීමට සිදුවුණු භයානක පීඩාවන් 3ක්, ඉතිහාසයේ ලියැවී ඇත.
පළමුවෙන්, රුසියාවේ විසූ යුදෙව් මිනිසුන් හට මුහුණ පාන්නටවූ, ‘පෝග්රොම්’ (Pogrom) නමින් හැඳින්වෙන පීඩාව වෙත අවධානය යොමු කරමු. ‘මහ සිකුරාදා’ ක්‍රිස්තුස් වහන්සේ කුරුසපත් කළ දිනය ලෙස, කිතුණු බහුතරයක් තම දේවස්ථානවල මෙහෙයන් පවත්වන බව, කාහට වුවත් දකගත හැක. පුරාතණ රුසියාවේ එදින දේව මෙහෙයෙන් පසු, පූජකයා අල්තාරය මත තිබූ කුරුසිය අතට රැගෙන “අපි දැන් අපේ කිතුතුමා මරූ අයව මරමු” යැයි පවසමින්, තම ඇදහිලිවතුන් සමග යුදෙව් අය වසන ප්‍රදේශයන්ට ගොස් කාන්තාවන්, මහලු අය සහ බිළිඳුන්ද ඇතුලුව, සිටි සියලු යුදෙව් අය, අවුරුදු පතා, තලාපෙලා ඝාතනය කිරීමට පුරුදුව සිටියහ. එහෙයින් ‘මහ සිකුරාදා’ රුසියාවේ යුදෙව් මිනිසුන් මහත් ලෙස ‘ද්වේශ කළ’ දිනයක් විය.
මුළු ලොව පුරාවටම, යුදෙව් ළමුණ් හට, අන්‍ය ජාතික ළමුණ් ගෙන් යොමුවූ ‘පළමු වැනි චෝදනාව’ වූයේ “තොපි අපේ ක්‍රිස්තුස් වහන්සේව කුරුසේ මැරුවා” යන්නයි.
කිතුණුවෝ ඇතතෙන්ම ‘ශුභාරංචි’ නැතහොත් ‘සුවිශේෂ’ අවධාන පූරකව කියවන්නේ නම්, ඔවුන්ගේ එම චෝදනාව ‘කෙතරම් වැරදිද’ යන්න, ඔවුන්හටම වැටහිය යුතුය. එතුමන් හට නොයෙකුත් වධ හිංසා කළේත්, කුරුසපත් කළේත් රෝම භටයන් බව ඒවායේ පැහැදිළිව සඳහන්ව තිබේ. එපමණකුදු නොව, ඒ පිළිබඳව ක්‍රිස්තුස් වහන්සේම වදාළ අනාවැකිය ලූක් 18:31-34 දක්වා මෙලෙස ලියැවී ඇත. “උන්වහන්සේ දොළොස්දෙනා තමන් වෙත කැඳවා ඔවුනට කියනසේක්: “බලව අපි යෙරුසලමට යමුව, මනුෂ්‍ය පුත්‍රයා ගැන අනාගතවක්තෘන් විසින් ලියා තිබෙන සියල්ල සම්පූර්ණ වන්නේය. මක්නිසාද ඔහු අන්‍යජාතීන්ට පාවාදෙනු ලැබ, කවටකම් සහ නින්දාද, කෙළගැසීම්ද ලබන්නේය. ඔව්හූ (අන්‍ය ජාතිකයෝ) ඔහුට තළා ඔහු මරන්නෝය”.
“නුමුත් තුන්වෙනිදා ඔහු නැවත නැගිටින්නේයයි” කීසේක. එහි 34 වන පදයේ එතුමන් ඒ දේවල් වදාළ යුදෙව් දොළොස්දෙනා හට ඒ කියමන තේරුම් නොගියේ, එය ඔවුන්ගෙන් “සැගවී තිබූ” නිසා බව ලියා තිබේ.
දුක්ඛිත කරුණ වන්නේ, “තමන් ශුධතුන්ගෙන් පිරී සිටිතැයි” පවසන කිතුණු ඇදහිලිවතුන්ගෙනුත් එය “වැසී” තිබීමයි.
මෙම ලිපියේ ඉංග්‍රීසි පිටපත මම ඊයේ සවස වෙබ් අඩවියට ගොනු කළෙමි. අද උදෑසන ඊශ්‍රායලය දකුණේ පිහිටි ඇෂ්කලාන්හී සේවයේ නියුතු, ජාත්යයාන්තර සම්මේලනවල පවා “දේව වචනය” බෙදාගන්නා මෙසයානික දේව දාසයෙක්, මෙලෙස පණිවිඩයක්, ඉංග්‍රීසි බසින් මගේ දුරකතනයට එවා තිබුණි. “මේ දේවල් මෙසේ බෙදා ගත්තාට ඔබට බොහොම ස්තූතියි. ඇමරිකාවේ හැදුනු වැඩුණු මටද, අන්‍යජාතික ළමුන්ගෙන් පළමුවෙන්ම අසන්නට වුනු චෝදනාව ‘උඹ අපේ ක්‍රිස්තුස් වහන්සේව මැරුවා’ යන්නයි”.
රෝම ආණ්ඩුකාර පිලාත් වෙත ක්‍රිස්තුස් වහන්සේව භාර දුන්නේ යුදෙව් නායකයන් බව සැබෑයි. නමුත් එතුමන්ම කළින් වදාළ ප්‍රකාර, කවටකම් සහ නින්දා යනාදිය කර, එතුමන්ව කුරුසපත් කළේ අන්යජාතක රෝම හමුදාවේ අයයි. එහෙයින් “යුදෙව් සහ අන්‍යජාතික” දෙපාර්ශවයම, ක්‍රිස්තුස් වහන්සේ හට සිදුවූ සියල්ලට වගකිව යුතුව තිබෙද්දී, හුදෙක් එය ‘යුදෙව් ක්‍රියාවක් පමණක්ම’ ලෙස සළකා, ඉතිහාසය පුරාවටම ඔවුනට හිංසා පීඩා කිරීම, සර්වසාධාරණ දෙවිඳුන් කිසිළෙසකත් අනුමත නොකරණු ඇත.
දෙවනුව, 15 වන ශතවර්ෂයේදී, ස්පාඤ්ඤයේ විසූ දෙවනි ෆර්ඩිනන් රජ සහ ඉසබෙලා (බයිබලයේ ආහබ් රජුගේ භාර්යාවවූ ‘යෙසබෙල්’ ගේ නම ආශ්රීතයි) රැජින කරණකොටගෙන, රෝමාණු සභාවේ මග පෙන්වීම යටතේ ඇරඹුණු “ස්පැනිෂ් ඉන්කුවිසිෂන්” (Spanish Inquisition) නැමැති “යුදෙව්වන්ට පීඩා කිරීම”, වෙත යොමුවිය හැක.
එය ආරම්භ වූයේ, රෝමාණු සභාවේ නොවන රෙප්රමාදු සහ මුස්ලිම් ඇදහිලිවතුන් හටද බලපාන අයුරින් වුවද, අවසානයේ 90% වඩා කෘර ලෙස මරණු ලැබුවේ යුදෙව් අයවය. එය ශතවර්ෂ 3 ක් පුරා, ස්පාඤ්ඤ භාෂාව කථා කරණ දකුණු ඇමරිකාවේ රටවල් ඇතුලු, එවකට ස්පාඤ්ඤයට යටත්ව තිබූ, සෑම රටකම පැතිර ගියේය. බ්‍රසීලය පෘතුගීසින් විසින් යටපත් කරගන්නා ලදී. අදටත් එම රටේ භාවිතා වන්නේ පෘතුගීසි භාෂාවය. ඔවුන්ද ඒහා සමාන පීඩා කිරීමක් 1530දී ආරම්භ කළහ. ඉන්දියාවේ කේරළ ඇතුළු බොහෝ ප්‍රදේශවල අදටත් යුදෙව් මිනිසුන් බොහොමයක් සිටිති. ගෝවේ ප්‍රාන්තය ඉංදියාවේ සෑම අංශයකින්ම ඉතා ඉහල ස්ථානයක සිටින බව, ලංකාවේ බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් විය හැක. ඊට එක හේතුවක් වන්නේ එහි සිටින යුදෙව් ජාතීන් වීමට පුළුවන. එහි ජනාකීර්ණම නගරයේ නම “වස්කෝද ගාමා” යි. 1961දී, එය ඉංදියාවට “ඈඳා ගන්නා” තෙක්ම, අවුරුදු 450ක් පුරාවට එය “පෘතුගීසින් සතු කොටසක්ව” පැවතුණි.
එහෙයින් 1560 සිට 1773 දක්වා කාලය තුල, එහිද “යුදෙව් පීඩන ක්‍රියා” සිදුවුණි. එම පීඩන 1812දී නිල වශයෙන් නවත් වනු ලැබූ කල, පෘතුගීසින් විසින් හැකි තරම් වාර්තා පුළුස්සා දමන ලද හෙයින්, ගෝවා ප්‍රාන්තයේ ඝාතනය කරන ලද යුදෙව් මිනිසුන් ගණන නිශ්චිත වශයෙන් දැන ගැනීමට නොහැක. එනමුත් 57 දෙනෙකු ඝාතනය කර, චෝදනා මත සිරකර සිටියදී ‘මියගිය අය පෙන්නුම් කෙරෙණ’ පඹයන් 64ක්ද පුළුස්සා දමා ඇතැයි, ඉතිරිව ඇති වාර්තා පෙන්නුම් කෙරෙතැයි පැවසේ.
තුන් වැන්න වන්නේ, වර්තමානයේ බොහෝ අය දන්නා, හිට්ලර්ගේ පාලන කාලයේදී යුරෝපයේ විසූ යුදෙව් අයහට විඳින්නටවූ පීඩනයි. ඔහුගේ වදකාගාර වල මිලියන 6 ක් පමණ යුදෙව්වන් මිය ගිය බව නිතර කියවුනත්, බොහෝ දෙනකු නොදන්නා කරුණ වන්නේ, එයින් මිලියන 1 ½ ක්ම ළදරු වයසේ පවා සිටි කුඩා දරුවන් බවයි. එලෙස ඒ සමහර දරුවන් මිය යෑමට හේතුව, එම ස්ථාන භාරව සිටි නිළධාරීන් කලාවූ නොයෙකුත් ‘පරීක්ෂණ නැතහොත් අත්හදා බැලීම්’ වේ.
උදාහරණයක් ලෙස, ඇසේ පාට ‘නිල’ට හැරවිය හැකිදැයි බැලීම සඳහා, බිළිඳුන්ගේ ඇස්වලට රසායනික ද්‍රවයන් පවා වත්කොට ඇතැයි කියැවේ. ඒ හේතුවෙන් බිළිඳන් කෑ මොර ගැසුවත්, ඒ ගැන තැකීමක් කර නැත.
‘යොසෙෆ් මෙන්ගෙල්’ නැමැත්තා හට ‘මරණයේ දූතයා’ යන නම පවා භාවිතාවූයේ, ඔහුගේ කෲර කම් ඉතා දරුණු ඒවා වූ නිසයි. ඒ වදකාගාර වල සිට, ඇසින් දුටුදෑ ප්‍රකාශ කල සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ කියමන් දෙකක්, ඔහුගේ කෲරකම් පිළිබඳ පෙන්නුම් කරයි.
නියෙස්ලිගේ සාක්ෂිය: “එක රාත්‍රියක මෙන්ගෙල්, නිවුන් දරුවන් 14 කගේ හදවත් වලට ක්ලෝරොෆෝම් විද්දා. ඔවුන් සියළුදෙනාම ඒ රාත්‍රියේම මියගියා”. මෙන්ගෙල් වැඩි වශයෙන් නිවුන් දරුවන් පර්යේෂණ වලට භාජනය කර ඇති බවට, බොහෝ සාක්ෂි ඇත.
වේරා ඇලෙක්සැන්ඩර්ගේ සාක්ෂිය: “මෙන්ගෙල් රුමෙනියානු නිවුන්නුන් දෙදෙනෙකුගේ පිටවල් ඒක්කර මැසුවා. එසේ කලේ ඔවුන් ‘දෙබිඩි දරුවන්’ වේවිදැයි බලන පිණිසයි. නුමුත් දවස් ගණනක් දුක්විඳ, ඔවුන් මියගියේ තුවාල කුණුවීමෙනි”.
“මගේ පියා, එයා යුද්ධ කාලයේ කළ කිසිම ක්‍රියාවක් ගැන, කිසිවෙලාවක ‘දුකක් හෝ පසුතැවීමක්’ පෙන්නුම් කළේ නැහැ” යැයි, ඔහුගේ පුත් රොල්ෆ් මෙන්ගෙල්, දුකෙන් පවසා ඇත.
1939දී යුදෙව් අය 937 දෙනෙක් මුදල් ගෙවා, “සැන්ට් ලුවී” නැමැති නැවට නැගුණේ, ජර්මනියෙන් පිටවී, එවකට කොමියුනිස්ට් රටක් නොවූ කියුබාවේ පදිංචියට යන පිණිසයි. ඔවුන් සැමට කියුබාණු තානාපති කාර්යාලයෙන් වීසා නිකුත් කර තිබුණත්, කියුබානු රාජ්‍යය එම රටට ගොඩ බැසීමට ඔවුනට අවසර දුන්නේ නැත. එවිට ‘නට්සි’ සාමාජිකයක් නොවූ නැවේ කපිතාන්, ඔවුන්ව ඇමරිකාව දෙසට ගෙන ගියත්, ඇමරිකාවද එම යුදෙව්වන් පිළිගත්තේ නැත. එවිට ඔහු එම නැව කැනඩාවට ගෙන ගියමුත්, එහිදීද වූයේ එම දෙයමය. අවසානයේදී නැවතත් යුරෝපය දෙසට නැව ගෙනගිය එම කපිතාන්, සිතාමතාම එංගලන්තයත්, ප්රංශයත් අතර මුහුදු ඇලේ ගල් පරයක නැව හැප්පුවේ, ජර්මනියේ ඔවුනට ‘කුමණ අන්දමේ අනාගතයක්’ ඇත්දැයි දැනසිටි හෙයිනි.
එම අවසානය හැරෙන්නට, මුළු සංචාරයම ‘ප්‍රෝඩාකාරි ප්රචාරක ක්‍රියාවක්දැයි?’ ප්‍රශ්න කරණ අයද සිටී. ඊට හේතුවන්නේ, ජීවිත බේරාගත් අයගේ අත්දැකීම් මත ලියැවුණු පොතක් ආශ්‍රිතව, 1976 නිෂ්පාදනයවූ චිත්‍රපටියක (Voyage of the Damned) එක ජවනිකාවක් වූයේ, නැවේ සිටි ‘නට්සි’ නිලධාරියා “මුළු ලොවම යුදෙව් සරණාගාතයන් ‘එපා කරන්නේ නම්’, ඔවුන්ට අත්වන ඉරණම ගැන කවරෙකුට වුවත් ජර්මනියට දොස් තැබිය නොහැකියි” පවසා සිටීමයි.
එසේ මුහුදු බත්කල නැවේ සිටි 288ක් එංගලන්තයට ගොස් දිවි බේරාගත්හ. අනිත් අය, පුංශයට, බෙල්ජියම සහ ඕලන්දයට ගියමුත්, ජර්මනිය එම රටවල් යටපත් කරගැනීම හේතුවෙන්, ඔවුන්ගෙන් බහුතරයක් හිට්ලර්ගේ වධකාගාරවලට කොටු වූහ. ඒ අයගෙන් 254 දෙනෙක් මියගොස් ඇති අතර 278 යුද්දය අවසාන වනතෙක් නොමැරී බේරී ඇත. 30ස් දෙනෙකුට කුමක් සිදුවූයේ දැයි නොදන්නා අතර, 87 දෙනෙක් පෘතුගාලය හරහා යුරෝපයෙන් පිටවී ජීවිත බේරා ගත්හ.
ඒ පිළිබඳව කිවයුතු වැදගත් කරුණ වන්නේ, දෙවැනි ලෝක සංග්‍රාමයේදී පෘතුගාලය, එංගලන්තයේද සහය ඇතිව ‘ස්වාධීනව’ සිටි බවයි. ඊටත් වඩා වැදගත් වන්නේ, එවකට එහි අගමැතිව සිටි අන්තෝනිඕ ඩි ඔලිවියෙරා සලාසාර්ගේ උපදෙස් පරිදි, යුරෝපයේ පෘතුගීසි තානාපති කාර්යාල, යුදෙව් මිනිසුන් හට බේරී පැනයාම සඳහා ‘වීසා’ බොහෝමයක් දානය කිරීමයි.
ප්‍රංශයේ සිටි අරිස්ටිඩිස් ඩි සූසා මෙන්ඩෙස් තානාපති, ප්රදානය කළ ‘වීසා සංඛ්‍යාව’ අදටත් නොදන්නා කරුණකි. ඒ හේතුකොටගෙන ඔහුට “යහපත් අන්‍යජාතිකයා” යන “ගෞරව සම්මානයද” ඊශ්‍රායෙල් රජය මගින් පුදන ලදී.
මෙම ශතවර්ෂය මුලදී, කැනඩාව එම නැවේ සිටි අය ‘ප්‍රතික්ෂේප කිරීම’ ගැන සමාව ඇයදුවේය. අගමැති ජසටින් ටෘඩෝ ප්‍රසිද්ධියේ මාධ්‍යය හරහාද එසේ කළේය.
කෙසේ වූවත් ඉහත සඳහන්ව ඇත්තේ, යුදෙව් මිනිසුන් හට, තමන් “යුදෙව්” වූ පමණින්ම, විඳින්නට වූ පීඩාවන් ගෙන්, ප්‍රධානතම කරුණු බිඳකි.