වර්තමාන ලෝකයේ ඇති රටවල් “සංවර්ධිත, සංවර්ධනය වෙමින් පවතින හා සංවර්ධනය නොවූ (දිළිඳු)” රටවල් ලෙස වර්ගීකරණය කෙරේ. එසේ නැතහොත් “පළමුවන ලෝකයේ, දෙවන ලෝකයේ හා තුන්වන ලෝකයේ රටවල්” ලෙස හඳුන්වනු ලැබේ. එසේ කෙරෙන්නේ රටක තිබෙන්නාවූ ‘ආර්ථික ස්ථාවරය’ මත වේ.
එම ආර්ථික ස්ථාවරය නිගමනය කරනු ලබන්නේ, ඕනෑම රටක “දළ දේශීය නිෂ්පාදිතය” (GDP) මගිනි. කලින් රටක “දළ ජාතික නිෂ්පාදනය” (GNP)මත ‘ආර්ථික ස්ථාවරය’ මනිනු ලැබුවද, වර්ථමානයේ බහුලව යොදා ගනු ලබන්නේ “දළ දේශීය නිෂ්පාදිතය” මත පදනම් වූ “මිනුම් ක්‍රමයයි”.
“දළ දේශීය නිෂ්පාදිතය” යනුවෙන් හඳුන්වන්නේ, වසරක් වැනි කාලපරිඡේදයක් තුල “රටක ආර්ථිකය තුල හුවමාරු වන්නා වූ ‘භාණ්ඩ හා සේවාවන්’ වල මුළු වෙළඳපොළ අගය” වේ. තවත් අයුරකින් කිවහොත්, “වසරක් වැනි කාලපරිඡේදයක් තුල, රටක හෝ යම් භුගෝලීය ප්‍රදේශයක් තුල නිෂ්පාදිත, ‘භාණ්ඩ හා සේවාවන්හී’ අවසාන මූල්‍යමය වටිනාකමයි. එම ‘වටිනාකම’ ගණනය කරනු ලබන්නේ ඇමරිකානු ඩොලරය මතවේ. එසේ කරනු ලබන්නේ, මුළු ලොවටම ‘එක පොදු ඒකකයක්’ තිබිය යුතු බැවිනි.
දළ දේශීය නිෂ්පාදිතය ගණනය කෙරෙන සමීකරණය:- “දළ දේශීය නිෂ්පාදිතය = පරිභෝජනය + ආයෝජනය + රජයේ වියදම් + ශුද්ධ අපනයනය” වේ.
‘පරිභෝජනය’ යනු, දළ වශයෙන් නිවසක සහ ලාභ නොලබන ආයතනයක සාමාන්‍ය භාවිතයයි.
‘ආයොජනය’ යනු නොයෙකුත් ව්‍යපාරයන් යොමු කරන්නාවූ මුදලයි.
‘ශුද්ධ අපනයන’ නම් රටක “අපනයන – ආනයන” යේ ඉතිරියයි.
රජයක් රටක නඩත්තුව සඳහා වසරකට දරණ මුදල ‘රජයේ වියදම’ වේ.
ලෝකය පුරාම රටවල් වල එවැනි වර්ගකිරීම් සිදුකරන ආයතන කිහිපයක් ඇතත්, මූලික වශයෙන් එය කරනු ලබන්නේ “ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය” (Organization for Economic Co-operation & Development – ‘OECD’) මගිනි. එමෙන්ම නොයෙකුත් රටවල භාවිතා වන ‘මුදල් වර්ගයන්’, “අන්තර්ජාතිකව පිළිගැනීම සඳහා නිර්දේශ කරන්නේ” ද, මෙම සංවිධානය විසිනි.
ඕනෑම රටක ‘ආර්ථික ස්ථාවරභාවය’ මත, එම රටේ ආර්ථිකය, “ලොවපුරා කුමන ස්ථානයක් දරන්නේද” යන්න පදනම්ව ඇති හෙයින්, ‘වැඩිපුරම මුදල් තිබෙන්නා වූ රට’ පළමුවන ස්ථානයට පත් නොවන අවස්ථාද ඇත. ඊට හොඳම උදාහරණය වන්නේ, ආර්ථික අංශයේ සිටින සෑම දෙනාගේම මතය ප්‍රකාර, ලොව ‘බහුලවම මුදල් ප්‍රමාණයක් ඇති රට’ ලෙස ‘චීනය’ සැළකෙතත්, “ලෝකයේ ආර්ථිකය ගණනය කිරීමේදී”, එම රට දෙවන ස්ථානයට පත්ව, ‘ඇමරිකාව’ ප්‍රථම ස්ථානයේ සිටීමයි. ඊට හේතුව ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතය (ද.දේ.නි) ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 19.485 ක් වන අතර, චීනයේ එය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 12.238 ක් ීමයි.
ඇමරිකාව ‘මුල් ස්ථානයට’ පැමිණීම සීඝ්‍ර ලෙස ඇරඹුනේ, දෙවන ලෝක සංග්රාමයෙන් පසුවයි. එවකට යුරෝපීය රටවල ආර්ථිකය ඉතා පහත් මට්ටමක තිබුණි. ඒ වනතෙක් ලෝකයේ ආර්ථික වශයෙන් ඉහළින්ම සිටි බ්‍රිතාන්‍ය, යුධ වියදම් හේතුවෙන්, කඩාවැටුනු ආර්ථිකයක් ගොඩනගමින් සිටියේය. ‘මිත්‍ර හමුදා’ අතරින් විශාලතම හානියට භාජනයවූ රුසියාව හට, තම ආර්ථිකය ගොඩනගා නැගීමක් කිරීමට සිදුව තිබුණි. එනමුත් 1917 විප්ලවයෙන් පසු ඔවුන් අනුගමනය කල ‘මාක්ස්වාදී’ සංකල්පය ප්‍රකාර, ‘වැසුනු ආර්ථිකයකට’ නතුව සිටි හෙයින්, ආර්ථිකව වර්ධනය වීම බොහෝ ලෙසින් සීමා වුණි. එමෙන්ම සංවර්ධන අංශයෙන් ඉතා පහල මට්ටමක එවකට සිටි චීනයේ බලය අල්ලා ගත් මාඕ සේතුං ද, මාක්ස්වාදී ප්‍රතිපත්තියක් අනුගමනය කල හෙයින්, එම රටටද ආර්ථිකව වර්ධනය වීම, එවකට ඉතා දුෂ්කරව තිබුණි.
ඇමරිකාවේ දේශීය කර්මාන්තය, දෙවන ලෝක සංග්රාමයෙන් පසු සීඝ්‍ර ලෙස වර්ධනය වුණි. යුද්ධයට පෙරද ඇමරිකාවේ ‘මෝටර් රථ නිෂ්පාදනය’ කරන කර්මාන්තශාලා තිබුණි. යුද්ධය ඇරඹුණු පසු ඔවුහු මෝටර් රථ වෙනුවට යුද්ධායුධ නිෂ්පාදනය කිරීමට පෙළඹූණහ. යුද්ධය අවසන් වීමෙන් පසු, නැවත මෝටර් රථ නිෂ්පාදනයට යොමුවූ එම කර්මාන්තශාලා, දශක ගණනාවක් යනතුරු මුළු ලොවම මෝටර් රථ නිෂ්පාදනයේ සහ අලෙවි කිරීමේ, මුල් ස්ථානයේ පසුවූහ. එම අංශයෙන්, “The Big Three” නොහොත් “මුල් තිදෙනා” ලෙස ලෝකය පුරා ප්‍රසිද්ධව සිටියේ, ‘ජෙනරල් මෝටර්ස්, ෆෝඩ් සහ ක්‍රයිස්ලර්’ නැමැති ආයතනයි. පසුකාලීනව යුරෝපීය බෙන්ස්, BMW, පෝජෝ වැනි වාහන සහ ජපන් වාහන, ඇමරිකාව අභිබවා එම ක්ෂේත්රයෙන් ඉහළට ගියහ. එනමුත් ලෝක ආර්ථිකයේ අංක එක බවට ඇමරිකාව පත්වීමට, එම කර්මාන්තයෙන් විශාල දායකත්වයක් ලැබුණි.
ඒ හැරෙන්නට ඔවුන්ගේ එම සාර්ථකත්වයට දායකවූ එතරම් ‘නොපෙනෙන’ සාධකයන්ද වූහ.
1944 දී “බ්‍රෙටන්වුඩ්ස් සම්මේලනය” හරහා ‘ලෝක බැංකුව’ හා ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ (IMF) ආරම්භ කරන ලද අතර, ඒ සංවිධාන දෙකම, ඇමරිකානු භාණ්ඩාගාරයේ නිළධාරියෙක් වූ හැරී ඩෙක්ස්ටර් වයිට් සහ එවකට ලොව පුරාම ප්‍රධාන ආර්ථික විද්යාඥයාවූ ජෝන් මේනාඩ් කීන්ස් යන දෙදෙනාගේ නිර්මාන ශීලත්වයෙන් ‘උපන්’ ඒවා වූහ. එම යොජනාවන් 1945දී ක්‍රියාත්මක කරන ලද අතර, එම ආයතන දෙකේම මූලස්ථාන පිහිටා ඇත්තේ ඇමරිකාවේ අගනුවර වන වොෂිංටන් නගරයේය. එම ආයතන ස්ථාපිත කිරීමේ අරමුණ ‘දුගී සහ වර්ධනය වන රටවල්’ හට උපකාරයන් ලෙස, ‘ණය සහන සහ ප්‍රදානයන්’ ලබා දීම බව ප්‍රකාශ කරන ලදී.
ආරම්භයේදී ‘දායකත්ව රාජ්‍යයන්’ එතරම් නොවූ හෙයින් වැඩි ප්‍රාග්ධනයක් ඔවුනට (විශේෂයෙන් ලෝක බැංකුවට) නොතිබුණි. එයට හේතු වූයේ, දෙවන ලෝක සංග්රාමයෙන් පසුව බොහෝ රටවල් එවකටත් ආර්ථිකව ‘වර්ධනය වෙමිත්’ පැවතීමයි. වෙන ඕනෑම බැංකුවක්සේ ලෝක බැංකුවද, ‘ණයක් දීමට පෙර’, නොයෙකුත් කොන්දේසි පනවන බව, වර්තමානයේ වසන බොහෝ අය දන්නා දෙයකි. ආරම්භයේ සිටම එම පුරුද්ද තිබූ බව මනාව ඔප්පු වන්නේ, ප්‍රථමවරට ණයක් දානය කිරීමේදීම එය මනාව පෙන්නුම් කෙරුණු හෙයිනි. ඒ මෙලෙසයි. ප්‍රංශය, පෝලන්තය සහ චිලී රටවල් ප්‍රථමයෙන්ම ලෝක බැංකුවෙන් ණය ආධාර ඉල්ලා තිබුණි. එවකට සභාපති වූ ජෝන් මැක්-ක්ලෝයි ප්‍රංශයට එම ප්‍රථම ‘ණය ආධාරය’ දීමට තීරණය කළේය. එනමුත් ලෝක බැංකුවට වැඩිම දායකත්වයක් සැපයූවේ ඇමරිකාව හෙයින්, එහි ‘රාජ්‍ය දෙපාර්තමේන්තුව’, ප්‍රංශයට පහත කියැවෙන කොන්දේසිය පණවන ලෙස ලෝක බැංකුවෙන් ඉල්ලා සිටියේය.
එවකට තිබූ ප්‍රංශ රජය ‘සහභාගි රජයක්’ වීම හේතුවෙන්, එහි කොමියුනිස්ට් පාක්ෂිකයෝද සිටියහ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටියේ, “ප්‍රංශයට එම ණය ආධාරය දීමට නම්, කොමියුනිස්ට් පාක්ෂිකයන් රජයෙන් ඉවත් කල යුතු බවයි”. ප්‍රංශ රාජ්‍යය එසේ කර පැය ගණනක් යෑමට මත්තෙන්, එම ණය මුදල ඔවුනට මුදා හරින ලදී.
මේ තාක් කල් “ලෝක බැංකුවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්” ණය ලබාගත් රටවල් බහුතරයක්ම, තවමත් එම ආයතන දෙකට ණයගැතිව සිටිති. එහෙයින් ඔවුන්ගේ යෝජනා වලට අනුමතවීමට එම සෑම රටකටම සිදුව තිබේ. COVID වසංගතය පැමිණීමට ප්‍රථම, වැඩිපුරම කථාබහට ලක්වූයේ ‘ග්‍රීසියේ ආර්ථිකය’ පිළිබඳව සහ එම රට ලෝක බැංකුවෙන් ණය ලබාගැනීම හේතුවෙන් මුහුණපෑමට සිදුවූ නොයෙකුත් අර්බූදයන් සහ දුෂ්කරතාවයන් ගැනයි.
ලෝක බැංකුව ස්ථාපිත කල පසු පළමුවන සභාපති වූයේ ඇමරිකානු ජාතික යූජීන් මයියර් ය. එපමණක්ද නොව මේ දක්වා සියළුම ලෝක බැංකු සභාපතිවරු ඇමරිකානුවෝ වූහ. 1995 සිට 2005 දක්වා ඔස්ට්‍රේලියාවේ උපත ලත් ජේම්ස් වුල්ෆන්සන් ද, 2012 සිට 2019 දක්වා දකුණු කොරියාවේ උපත ලද ජිම් යොං කිම් ද, ලෝක බැංකු සභාපති වූහ. එනමුත් ඔවුන් දෙදෙනාම ඇමරිකාවේ ‘පුරවැසිභාවය’ ලබා සිටි අය වූහ.
ජිම් යොං කිම්ගේ ධූර කාලය නිළවශයෙන් අවසන්වූ 2019 පෙබරවාරි පළමුවන දින, “වැඩබලන සභාපතිනි” ලෙස බල්ගේරියානු ජාතික ක්‍රිස්ටලීනා ජෝර්ජීවා පත්වී, වර්තමාන සභාපති ඩේවිඩ් මල්පාස් එම වසරේම අප්‍රේල් 9 වනදා වැඩභාරගන්නා තෙක් එම ධූරය දැරුවාය. එලෙස මාස දෙකක පමණ කාලයකට, එකම ඇමරිකානු නොවන සභාපතිනිය වූයේ ඇය පමණයි.
IMF සංවිධානය (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) 1945 දී ආරම්භ වූයේ රටවල් 29 ක සහභාගිත්වයෙන් වුවත්, වර්තමානයේ එහි සාමාජික රටවල් 190 ක් සිටිති. එම ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂක සෑම විටම ‘යුරෝපීය ජාතිකයෙක්’ වූ අතර, එහි පළමු නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂක සෑම විටම ඇමරිකානුවෙක් විය. එම කළමනාකරණ අධ්‍යක්ෂක ධූරය, ‘සුදුසුකම් මත’ ඕනෑම ජාතිකයෙකුට පිරිනැමිය යුතු බවට යෝජනාවක් 2011 දී ඉදිරිපත් වුනි.
ප්‍රංශ ජාතික ක්‍රිස්ටීන් ලගාඩ් 2011 සිට 2019 දක්වා IMF සංවිධානයයේ (ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ) කළමනාකරණ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළාය. ඇයගේ එම ධූරකාලය අවසන් වූ කළ, ඉහත සඳහන් ‘වැඩබැලූ ලෝක බැංකු සභාපතිනි’ ක්‍රිස්ටලීනා ජෝර්ජීවා කළමනාකරණ අධ්‍යක්ෂක ලෙස පත්විය. ඒ පිළිබඳව විරුද්ධත්වයක් පළකල නොහැක්කේ, ඇය විසින් සියලු සුදුසුකම් සපුරා තිබූ බැවිනි.
එනමුත් ඉහත සඳහන් දෙයින් පෙනීයන්නේ ඒ ආයතන දෙකෙහිම ක්රියාකාරිත්වයන් වලට මහත් ඇමරිකානු බලපෑමක් තිබෙන බවයි.
ලෝක ආර්ථිකයේ පළමුවැන්නා ලෙස ඇමරිකාව පත්වීමට තවත් මූලික වශයෙන් බලපෑ කරුණක් වූයේ “පෙට්රෝ ඩොලර්” යන්නයි. ලෝකයේ බහුලවම ඛණිජ තෙල් නිෂ්පාදනය කරන රට වන්නේ ඇමරිකාවයි. ඔවුහූ සමස්ථ ලෝක නිෂ්පාදනයෙන් 20% කට හිමිකම් කියති. ඒ දිනකට ඛණිජ තෙල් බැරල් මිලියන 14 කට වඩා නිෂ්පාදනය කිරීමෙන් ය. දෙවන ස්ථානය සෞදි අරාබිය සහ රුසියාව අතර නිතර දෝලනය වේ. එයට හේතුව ඔවුන්ගේ නිෂ්පාදනය සමස්ථ ලෝක නිෂ්පාදනයෙන් 11% ක් වන හෙයිනි.
ලෝකයේ වැඩිපුරම ඛණිජ තෙල් නිපදවන රට ඇමරිකාව වුවත්, එයින් බහුතරයක්ම ඔවුහු ‘තම රට තුලම’ පරිභෝජනය කරති. එහෙයින් ලෝකයේ වැඩිවශයෙන්ම ඛණිජ තෙල් අපනයනය කරන රට සෞදි අරාබිය වේ. දෙවැන්නා රුසියාව සහ තෙවැන්නා ඉරාකය වන අතර, ඇමරිකාව එම අංශයෙන් සිටින්නේ සිව්වන ස්ථානයේය. 1970 දී ඇමරිකාව සහ සෞදි අරාබිය යම් එකඟතාවයකට පැමිණයහ. එම එකඟතාවය වූයේ, ලෝකයේ ඕනෑම රටක විකුණන සහ මිල දී ගන්නා වූ ඛණිජ තෙල් පදනම් විය යුතු වන්නේ ‘ඇමරිකානු ඩොලරය’ මත යන්නයි. එයින් සිදුවූ ප්‍රායෝගික දෙය වූයේ, ලෝකයේ කුමන රටක වුවත්, තෙල් ‘මිලදී ගැනීම හා විකිණීම’ ඇමරිකානු ඩොලර් වලින් පමණක්ම සිදුවීමයි. ඒ කරණකොටගෙන, තෙල් නිෂ්පාදනය කරන රටවල ‘ජාතික ආදායම්’ ඇමරිකානු ඩොලරය මතම යැපෙන්නට සිදුවුණි.
විලියම් ආර්. ක්ලාක් නැමැත්තා “ඇමරිකානු යුධ ආක්රමණයන්ගේ අරමුණු” පදනම් කරගෙන ග්රන්ථයක් එළිදැක්වූ අතර, එහි නම ඉහත සඳහන් “පෙට්රෝ ඩොලර්” යන්න වුනි. එහෙයින් එම ‘කියමනේ’ නිර්මාතෘ ඔහුවේ. එම ග්‍රන්ථයේ සාධක සහිතව ඔහු පෙන්වා දෙන්නේ, “කුමන අන්දමකින් හෝ ඇමරිකාව තමන්ගේ මුදල් ඒකකය, ලොව ප්‍රමුඛතම මුදල් ඒකකය ලෙස පවත්වා තබා ගැනීම සඳහා ගෙන ඇති නොයෙකුත් පියවරයන්” පිළිබඳවයි .
වසර 2000 දී, ඉරාකය විසින් “ඛණිජ තෙල් වෙනුවට ආහාර” නම් වැඩසටහන ආරම්භකරන ලදි. ඒ කරණකොටගෙන ඔවුහූ ඛණිජ තෙල් විකුණන ‘මුදල් ඒකකය’ ඩොලර් වෙනුවට ‘යූරෝ’ වලට මාරු කලහ. ඉරාකය විසින් එතෙක් ඛණජ තෙල් විකිණීමෙන් උපයාගත් මුදල් තැන්පත්කරන ලද්දේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපදේශනය යටතේ, ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි බැංකුවකය. තවද ඔවුන් ‘යූරෝ මුදලින්’ තවත් ගිණුමක් වීවෘත කිරීමට සැලසුම් කිරීම, ඇමරිකාව නුරුස්සන කරුණක් විය. ඉහත සඳහන් ග්‍රන්ථයේ මෙන්ම, තවත් මූලාශ්‍ර වල සඳහන් වන්නේ, සද්දාම් හුසේන්ට විරුද්ධව ඇමරිකාව එංගලන්තය හා එක්ව, ඉරාකය ආක්‍රමණය කිරීමට මූලික හේතුව වූයේ එය බවයි. ඒ හැරෙන්නට, බයිබලය අනූව වෙනත් කරුණුද ඇත. ඒවා මතු ලිපියකින් පෙන්නුම් කරදෙනු ලැබේ. එලෙසම එම අය පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ, 2011 දී ලිබියාවේ ගඩාෆි විසින්, ලිබියානු ‘ගෝල්ඩ් ඩිනාර්’ මුදල් ඒකකය මත තෙල් සම්බන්ධ ගනුදෙනු කිරීමට සැලසුම් කළ හෙයින්, ඔහුවද ඉවත් කරවීමට කටයුතු කරණ ලද ආකාරයයි.
තව කරුණක් වන්නේ, ලෝකයේ බහුලම ‘ඛණිජ තෙල් සම්පත්’ ඇති රට, දකුණු ඇමරිකාවේ පිහිටි වෙනිසුවේලාවයි. 2005දී එම රට සිටියේ, ලෝකයේ ‘බහුලවම තෙල් නිපදවන රටවල්’ අතරින් 5 වන ස්ථානයේය. එනමුත් හියුගෝ චාවේස් සහ වර්තමාන ජනාධිපති නිකොලාස් මදූරෝ, කියුබා මිත්‍ර ඇමරිකානු විරෝධී අය වූ හෙයින්, වෙනිසියුලාවේ තෙල් නිෂ්පාදනයට බොහෝ තහංචි පැණවුණි. එබැවින් ඔවුන්ට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පෑමට සිදුවූ අතර, දැනුදු එම තත්වයෙන් නිදහස්වීමට ඔවුනට හැකියාවක් නොමැත්තේ, තෙල් නිපදවන රටවල් අතරින් 5 වන ස්ථානයේ සිටි ඔවුහු, වර්තමානයේ 26 වන ස්ථානය දක්වා පහත වැටී සිටින හෙයිනි.
“ආර්ථික විද්‍යාව” යන්න සරළ වශයෙන් කිවහොත්, “භාණ්ඩ සහ සේවාවන් සැපයීමේදී සිදුකරනු ලබන මිල කිරීම්, ‘ඉල්ලුම හා සැපයුම’ මත පදනම්ව සිදුකිරීමයි”. එමෙන්ම ‘භාණ්ඩ හා සේවාවල’ ඉල්ලුම හා සැපයුම තීරණය වන්නේ ‘වෙළඳාම’ හරහායි. විශේෂයෙන්ම ධනවත් රටවල “කොටස් වෙළඳපොල” හරහා සිදුවන වෙළඳාම් කටයුතු, රටක ‘ආර්ථිකය’ කෙරෙහි, විශාල බලපෑමක් ඇතිකරයි. එමෙන්ම කොටස් වෙළඳ ව්‍යාපාරය ශක්තිමත් නම්, වැඩිපුර ආයෝජකයන් එම රටට පැමිණෙන අතර, එය ‘දුර්වල’ නම් ඔවුන් වෙනත් ස්ථාන වෙත යොමුවෙති.
තවද, දිගින් දිගටම ‘කොටස් වල මිල’ පහත බැසීමක් සිදුවුවහොත් සතියක් වැනි කාලයක් තුල රටක ආර්ථිකය කඩාවැටීමටද පුළුවන. 1929 ඔක්තෝම්බර් මාසයේ ඇමරිකාවේ එවැනි දෙයක් සිදුවූ අතර, එය Great Depression හෙවත් “මහා පරිහානිය” ලෙස හැඳින්වේ.
1987 ඔක්තෝම්බර් 19 වන සඳුදා, ඇමරිකානු ‘කොටස් වෙළඳපොළේ’ “එක් දිනක” විශාලතම කඩාවැටීම සිදුවුනි. S&P 500 සහ Dow Jones Industrial Average දර්ශකයන් අනුව එය 20% ක පහතවැටීමකි. එම දිනය ඇමරිකානු ඉතිහාසයේ සඳහන්වන්නේ ‘කළු සඳුදා’ ලෙසයි.
ඉන්පසු එවැන්නක් ‘නැවත සිදු නොවීම’ පිණිස ‘පරිපථ බිඳිනය’ (Circuit Breaker) යන ක්‍රමය හඳුන්වා දෙන ලදි. ප්‍රායෝගික වශයෙන් එය ක්‍රියාත්මක වන්නේ මෙලෙසයි. ‘යම් කොටස් වෙළඳපොළක’ පහත වැටීම එකදිගට 7% ක් වුවහොත්, විනාඩි 15 කට වෙළඳපොළ කටයුතු නතර කරනු ලැබේ. ඉන්පසු නැවත ආරම්භවී, එම ‘පහත වැටීම’ 13% දක්වා ගියහොත්, නැවතත් විනාඩි 15 කට ‘වෙළඳපොළ කටයුතු’ අත්හිටවනු ලැබේ. එමෙන්ම එය 20% දක්වා පහත වැටුන හොත්, එම මුළු දිනටම, වෙළඳපොළ කටයුතු අත්හිටවනු ලැබේ. මෑතකදී ලංකාවේ කොටස් වෙළඳපොළේද, එවැන්නක් සිදුවුණි. නුමුත් පසුව එය ‘වාර්තා පිහිටුවමින්’ ශක්තිමත්ව ක්‍රියා කළේය.
S&P 500 නැමැති ආයතනය, ඇමරිකාවේ විශාලතම ආයතන 500 හි “ක්‍රියාකාරිත්වය මැනීම” සිදුකරයි. ඇමරිකාවේ ප්‍රමුඛතම සමාගම් 10 අතර සිටින ‘ඇපල් සමාගම ඇතුළුව, මයික්‍රොසොෆට් සිට ජේ. පී. මෝගන් සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ දක්වා සියළුම ප්‍රධාන පෙලේ සමාගම්ද මෙම S&P 500 ආයතනයේ ලැයිස්තුවේ සිටිති. Dow Jones ආයතනයද එම දෙයම කළත්, ඔවුන්ට ඇති ප්‍රධාන ආයතන ගණන 30 කි. අවසාන ‘කඩාවැටීම’ සිදුවූයේ 2020 පෙබරවාරි 24 වෙනිදායි. එහිදී S&P 500 හි දර්ශකය 34% දක්වා පහත වැටුනි. ඊට මූලික හේතුව වූයේ ‘COVID වසංගතය නිසා ඇතිවූ ගෝලීය ආර්ථික පසුබෑමයි’.
මුළු ලොවම ඇති ‘කොටස් වෙළඳපොළවල්’, ඇමරිකාවේ, “නිව් යෝර්ක් නුවර” පිහිටි ‘කොටස් වෙළඳපොළ’ (NYSE) දෙස නෙත් යොමාගෙන සිටිති. ඇමරිකාවේ ජාතික නිවාඩු දිනයන් සහ සති අන්තයන්හි එම කොටස් වෙළඳපොළ වසා තිබේ. ඒ අනුව දළ වශයෙන් වසරකට දින 253 ක් පමණ එහි වෙළඳ කටයුතු සිදුකෙරේ. නිව්යෝර්ක් නුවර වේලාවෙන් උදේ 9 ට ‘ආරම්භක සීනුව’ නාද කර ව්‍යාපාර කටයුතු පටන්ගෙන, සවස 4 ට නැවත වරක් සීනුව නාද කරමින් දවසේ වැඩකටයුතු අවසන් කරනු ලබන්නේ, චාරිත්‍රයක් ලෙසිනි. 2007 සිට එහි ගනුදෙනුකිරීම් “ඉලෙක්ට්‍රොනික දෙමුහුන් වෙළඳපොළ (Electronic Hybrid Market)” වෙත පරිවර්ථනය කරන ලදි. එනමුත් ‘ඉතා ඉහල වටිනාකම්’ සහිත කොටස් ඇති සමාගම් ස්වල්පයක් මෙම ‘දෙමුහුන් වෙළඳපොළ’ වෙත සම්බන්ධ වීමෙන් වැළකී සිටියහ. මන්ද ඒවායේ ‘ගනුදෙනු’ විවෘතව අත්තේ සමහර ධන කුවේරයන්ට පමණක් වූ නිසාය. 2021 අප්‍රේල් මස තක්සේරු ප්‍රකාර, නිව්යෝර්ක් කොටස් වෙළඳපොළේ, “වෙළඳපොළ ප්රාග්ධනය” ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 26.2 ක් විය.
යුරෝපයේ විශාලතම කොටස් වෙළඳපොළ පිහිටා ඇත්තේ ලංඩන් නුවරයි. ‘ආසියාවේ විශාලතම’ සහ ලෝකයේ තුන්වන විශාලතම කොටස් වෙළඳපොළ පිහිටා ඇත්තේ ජපානයේ ටෝකියෝ නුවරයි. නිව්යෝර්ක් නුවර කොටස් වෙළඳපොළේ ‘ක්‍රියාකාරිත්වය’, ලංඩන් සිට ටෝකියෝ දක්වා ඇති සියලුම කොටස් වෙළඳපොළවල් වල ක්‍රියාකාරිත්වය කෙරෙහි ‘ඉමහත් බලපෑමක්’ ඇති කරයි. ඕනෑම දිනක ඇමරිකානු කොටස් වෙළඳපොළේ වැඩකටයුතු ඇරඹෙන කල, ටෝකියෝ නුවර එම දිනට නියමිත වැඩකටයුතු අවසන්වී තිබුණත්, පසුවදා එහි වැඩ ඇරඹෙන්නේ, නිව්යෝර්ක් නුවර කොටස් වෙළඳපොළේ වැඩ අවසන් වනවිට තිබුණාවූ ගනුදෙනු වලට සාපීක්ෂවවේ. මෙවැනි කරුණු නිසාම, නිව්යෝර්ක් නුවර කොටස් වෙළඳපොළට “මහා මණ්ඩලය (Big Board)” ලෙසද ආමන්ත්‍රණය කෙරේ.
නිව් යෝර්ක් නුවර “නස්ඩාක්” (Nasdaq) නමින් තවත් කොටස් වෙළඳපොළක් ඇත. එය මුළුමනින්ම ඉලෙක්ට්‍රොනිකව ක්‍රියාත්මක වන අතර, ලෝකයේ දෙවන ස්ථානයේ පසුවන්නේ එම වෙළඳපොළයි. 2021 අප්‍රේල් මස තක්සේරු ප්‍රකාර, එහි ‘වෙළඳපොළ ප්රාග්ධනය’ ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 19.4 ක් විය.
ඉහත සඳහන් සියලු තොරතුරු ප්‍රකාර පැහැදිලිව පෙන්නුම් කෙරෙන්නේ, “මුළු ලොවම ආර්ථිකය මත නිව්යෝර්ක් නුවර මගින් ‘ඉමහත් බලපෑමක්’ සිදුකෙරෙන බවයි”.
මෙම තොරතුරු පෙන්වන කළ, බොහෝ දෙනෙකුගේ මනසට නැගෙන ප්‍රශ්නයක් විය හැක්කේ, “මේ නගරය පිළිබඳව බයිබලයේ කුමන හෝ දෙයක් සඳහන්ව තිබේද?” යන්නයි.
ඊට පිළිතුරු දීමට ප්‍රථම කරුණු කිහිපයක් පෙන්නුම් කරදීමට ඇත. ඒවායින් ප්‍රධාන තම එකක් වන්නේ, වර්තමානයේ රටවල් හා නගරයන් හට ‘භාවිතා වන’ නාමයන්, බයිබලය ලියන ලද ‘කාල වකවානුවේ’ භාවිතා නොවුනු බවයි. තව කරුණක් වන්නේ, බයිබලයේ බොහෝ “සංඛේතයන්ද” ගැබ්ව ඇති බවයි. ඊට එක හේතුවක් වන්නේ, බයිබලය පුරාවටම, එහි ග්රන්ථයන් ලියැවුනු කාලයන් අභිබවා වසර දහස් ගණනක් “ඉදිරියෙන් පවතින්නට යන දේවල්” පිළිබඳවද සඳහන්ව තිබීමයි. එම “උපකරණයන් හෝ සිද්ධීන්” උදෙසා වර්තමානයේ භාවිතා වන වචනද, එකල ‘ගොනුකර’ නොතිබුණි.
එහෙයින් නගරයක්, රටක් හෝ වෙනයම් විශේෂිත දෙයක් පිළිබඳව ‘හඳුනාගැනීම’ පිණිස, ඒ පිළිබඳව බයිබලයේ සඳහන් ‘තොරතුරු’ නිසියාකාරව අධ්‍යයනය කළයුතුවේ. තවත් කරුණක් වන්නේ, බයිබලයේ ග්රන්ථයන් ලියූ කිසිම කෙනෙක්, ඒවා “පරිච්ඡේද සහ පද” ලෙස කිසිදු වෙන් කිරීම්ද නොකළ බවයි. ක්‍රි.ව. 1227 පටන් එවැනි ‘වෙන්කිරීම්’ කිහිප දෙනෙක් කළ අතර, වර්තමානයේ කිතුණු බයිබල් වල සඳහන් වන ‘පරිච්ඡේද සහ පද’ ක්‍රමය, ක්‍රි.ව. 1555 දී ඉදිරිපත් කරණ ලද එකකි. මෙම ‘පද සහ පරිච්ඡේද’ දේශනා සහ ඉගැන්වීම් සකස්කිරීමේදී සහ බෙදාගැනීමේදී ඉතා ප්‍රයෝජනවත් බව කවුරුත් දන්නා දෙයකි. එනමුත්, එවැනි වෙන්කිරීම් කරන කළ, සමහර අවස්ථාවන්හීදී එහි ‘සන්දර්භය’ හෙවත් “පසුබිමට අදාල අන්තර්ගතය” සැලකිල්ලට භාජනය කර නොමැති බවද පෙනේ. එමනිසා බයිබලයේ මෙම නගරය පිළිබඳව සඳහන් දේ අධ්‍යයනය කරණ කළ, ඒ සියල්ලද සැළකිල්ලට ගත යුතුවේ.
බයිබලයේ අවසාන පොත වන “එළිදරව්” හි 17 වන පරිච්ඡේදයේ සඳහන්ව ඇත්තේ ‘ආගමික ක්රමවේදයකි’. එමෙන්ම එය පුරාතනයේ සිට පැවත එන්නක් බවද එම පරිච්ඡේදයේම පැහැදිලිව පෙන්නුම් කෙරේ. එහි 5 වන පදයේ එය “රහසක්ය, මහා බැබිලෝනියය” කියාද එයනම් කර ඇත.
තවත් මතක තබාගත යුතු කරුණක් වන්නේ, බයිබලය පුරාවටම, මුල් පොතේ සිට අවසානය දක්වා, නොයෙකුත් “තේමාවන්” පෙන්නුම් කෙරෙන බවයි. ඉන් එකක් වන්නේ, “යමෙක් වපුරන්නේ කුමක්ද, ‘එයම’ ඔහු නෙලාගන්නා” බවයි. දෙවියන්වහන්සේ “සර්වසාධාරණ” හෙයින්, යමෙක් ‘වපුරන දේ කපාගැනීමට’ ඉඩහැරීමටද, එතුමන් හට ‘සිදුවන බවත්’ පැහැදිලිවම සඳහන්ව ඇත.
17 වන පරිච්ඡේදයේ සඳහන් ‘ආගමික ක්‍රමවේදය’, නිසි පරිදි අවසන් වන්නේ එහි 16 වන පදයෙනි. 18 වන පදයේ පෙන්නුම් කෙරෙන්නේ, ‘ලොව රජවරුන්’, එනම් වර්තමානයේ සිටින ජනාධිපතිවරු, අගමැතිවරු වැන්නන්, එම ආගමික ක්‍රමවේදය කරණකොටගෙන ධනවත්වී ඇති බවය. ඊට කලින් ඇති 16 සහ 17වන පදවල සඳහන්ව ඇත්තේ, “දේව විනිශ්චය පමුණුවීම පිළිබඳව දෙවිඳුන් අනුගමනය කරන්නාවූ එක පිළිවෙතකි”. එනම් එම ‘ආගමික ක්‍රමවේදය’ කරණකොටගෙන ධනවත්වූ අයම, ඒ ‘ආගමික ක්‍රමවේදය’ විනාශ කරණ බවයි.
18 වන පරිච්ඡේදයේ 1 සිට 7 දක්වා සඳහන්ව ඇත්තේ, ‘ඔවුන්ගේ ඒ අනිසි සැපවිඳීම පිළිබඳව, දෙවියන්වහන්සේගේ විනිශ්චය ප්රකාශවීමයි’. 18හි 4 වන පදයේ, දෙවියන්වහන්සේ “එතුමන්ගේ සෙනඟට, විනිශ්චය පැමිණීමට ප්‍රථම, ඉවතට එන ලෙස, පවසා සිටීම” ලියා තිබේ. මේ සියල්ලෙන් පෙන්නුම් කෙරෙන්නේ එළිදරව් 17:16දී ‘ආගමික ක්‍රමවේදය’ පිළිබඳ විස්තරය අවසන් කොට, 17:18 සිට18:7 දක්වා, එම ක්‍රමවේදය තුළ ‘වාසි හා ලාභ’ ලැබූවන් ගැන සඳහන් කරමින්, විනිශ්චය පැමිණීමට ප්‍රථම “දෙවියන්වහන්සේගේ සෙනඟට” ඉන් ඉවත්වන ලෙස දැනුම් දීමක් කර ඇති බවයි.
එළිදරව් 18:8ටේ සඳහන්ව ඇත්තේ, “එම විනිශ්චය ‘එම නගරය මත’ එක දිනක් තුළ පැමිණෙන” බවයි. 9 වන පදයේ කියැවෙන්නේ, ‘මුළු ලොවම වස්තුව සහ වෙළඳාම කෙරෙහි මහත් බලපෑමක් කරන එම නගරය වෙත “විනිශ්චය පැමිණි කල”, ඉන් වාසි ලැබූවන් බියබත්වී, දුරින් සිවින බවයි’.
එළිදරව් 18:9 සහ 10 වන පදවල, ලොව නොයෙකුත් පාලකයන් ‘ඇයගේ විනාශය’ නිසා දුක්වන සැටි සඳහන්වේ. 11 සිට 17 වන පදයේ මුල් කොටස දක්වා, මුළු ලොවම වෙළඳුන් ‘ඇයගේ විනාශය’ ගැන වැළපෙන ආකාරය සඳහන් කරමින්, 17 හි දෙවන කොටසේ සිට 19 දක්වා, භාණ්ඩ ප්‍රවාහනය කරන්නන්ද වැළපෙන ආකාරය සඳහන්ව ඇත. එම කණ්ඩායම් තුනම පවසන ‘එකම කාරණය’ වන්නේ “එක පැයක් තුල” එම ‘නගරය’ මත “දේව විනිශ්චය” පැමිණි බවයි.
මේ සියල්ලෙන් පෙන්නුම් කෙරෙන්නේ, මුළු ලොවම ‘ආර්ථිකය සහා වෙළඳාම’ මත ඉහමත් බලපෑමක් ඇති කරණ “නගරය”, යම් දිනක “එක පැයක් ඇතුලත” විනාශ වන බවයි.
ඒ බව කියවන කල සමහරුන්ගේ මනසට පැමිණිය හැකි ප්රශ්නය වන්නේ “දෙවියන්වහන්සේ එවැනි දෙයක් සිදුවීමට ඉඩ දෙන්නේ කෙසේද?” යන්නයි.
ද්වීතිය කථාව 12:5 සහ 11 ඇතුළු බොහෝ ස්ථානවල, “දෙවියන්වහන්සේගේ නාමය තබා, එතුමන් ‘වැඩවිසීම’ සඳහා තෝරාගෙන ඇති ස්ථානයක්” පිළිබඳව ලියා තිබේ. මෝසෙස් ලිවූ පොත්වල එම නගරයේ නාමය සඳහන් නොවන්නේ, ඔහුට පොරොන්දු දේශයට ඇතුලුවීමට ඉඩ නොලැබුණු නිසා සහ එවකට එම නගරය හඳුන්වනු ලැබුවේද, වෙනත් නාමයකින් නිසායි. පසුව ඒ “යෙරුසලම් නගරය” බව කාහට වුවත් පැහැදිලි වූවා පමණක් නොව, දෙවිඳුන් ‘ප්රකාශවීම’, එතුමන් හට යාග පුදමින්, වැඳ නමස්කාර සහ යාච්ඤා කිරීම් යනාදිය උදෙසා, එකිනෙකට පසු “දේව ගෘහයන් දෙකක්ම” ඉදිකිරීමටත් එතුමන් අවකාශය දානය කිරීමෙන්ද, තහවුරු වුණි.
එනමුත් දෙවියන්වහන්සේ ඒ “දේව ගෘහයන්” දෙකම ඇතුළුව, එසේ “තෝරාගෙන තිබූ යෙරුසලම් නගරය” පවා දෙවතාවක්ම විනාශවීමට ඉඩහැරියේ, එය රැක බලාගැනීමේ වගකීම් බාරව සිටි “තෝරා ගන්නා ලද සෙනඟ”, එතුමන්ගේ උපදෙස් වලට පටහැනිව කටයුතු කළ නිසායි.
දෙවියන්වහන්සේ සර්ව සාධාරණ හෙයින්, කිසිඳු ‘පක්ෂපාතිත්වයක්’ පෙන්වන්නේ නැති බව රෝම 2:6-11 දක්වා පැහැදිලිව සඳහන්ව ඇත. “තෝරාගත් සෙනඟ” වෙත වේවා, අන් අය වෙත වේවා, “තමන් කරන්නාවූ දෙය අනුව ‘ඵලවිපාක’ පැමිණෙන්නට” එතුමන් සලස්වන සේක.
ලෝක ආර්ථිකයේ ‘ප්‍රථම ස්ථානයට පැමිණීමට’ මෙන්ම, එම ස්ථානය රක්ෂා කර ගැනීමටද එම රට (ඇමරිකාව) කර ඇති දේවල් පිළිබඳ විස්තර කිරීමක් මෙම ලිපිය තුල කිරීම යෝග්‍ය නොවේ. ඒ පිළිබඳව නොයෙකුත් විස්තරාත්මක ග්රන්ථයන්, ඉහත සඳහන් පරිදි නිකුත්කර තිබේ. එනමුත් ඉහත පෙන්වා දී ඇති කෙටි තොරතුරු වලින් පවා පැහැදිලි වන්නේ, එම ක්‍රියාවන් ‘සදාචාරාත්මකද’ නොවන බවයි. එහෙයින්, යෙරුසලම මත පැමිණුනාක් මෙන්, එම නගරය මතද “තම විනිශ්චය” පැමිණීවීමට දෙවිඳුන් ඉඩහරින බව පැහැදිලිය.
එනමුත් ඊටත් ‘වඩා වැදගත්වන්නාවූ’ කරුණක්ද ඇත.
දෙවියන්වහන්සේ, ඉශ්රායෙල් සෙනඟ ඊජිප්තුවෙන් පිටතට ගෙන ඒමට ප්‍රථම, මෝසෙස් කරණකොටගෙන ඊජිප්තුවේ දෙවිවරුන්ට වඩා “තමන්වහන්සේ ශ්‍රේෂ්ඨ බව” පෙන්නුම් කළසේක. ඊජිප්තු වැසියෝ එම දෙවිවරුන් මත යැපුනු අතර, ඉශ්රායෙල් වැසියන්ගෙන් සමහර අයගේ මනස් වලද, ඒ පිළිබව ‘යම් අදහස්’ තිබෙන්නට ඇත. එහෙයින් පීඩා 9 ක් කරණකොටගෙන ඊජිප්තුවේ දෙවිවරුන්ට පහර දෙමින්, “යාඃහවේ වහන්සේගේ ශ්‍රේෂ්ඨ බව පෙන්නුම් කර සිටිසේක”. දසවන පීඩාව “දෙවිඳුන්ගේ විනිශ්චයයි”. එය පැමිණෙන බව නික්මයාම 4:22 සහ 23 හි, ඒ සියල්ලකගේ ආරම්භයට ප්‍රථම යාඃහවේ වහන්සේ මෝසෙස් තුළින් ඵාරාවෝට දන්වා සිටි සේක.
එය මෙසේයි: “නුඹ ඵාරාවෝට කථාකොට: යාඃහවේ වහන්සේ (ස්වාමීන්වහන්සේ) මෙසේ කියනසේක. ඉශ්රායෙල් මාගේ පුත්‍රයාය, මාගේ කුලුඳුලාය. මට මෙහෙකරන පිණිස මාගේ පුත්‍රයා ‘යන්ට හරින්නැයි’ නුඹට කීමි; නුඹ ඔහුට යන්ට නුදුන්නෙහිය. බලව, මම නුඹේ පුත්‍රයා, එනම් නුඹේ කුලුඳුලා නසන්නෙමියි පවසන සේකැයි, කියා සිටින්නැයි කීසේක”.
මෙලොව වැසියෝ නොයෙක් අන්දමේ ‘දර්ශනයන් හා ක්‍රමවේදයන්’ හදාරති. එමෙන්ම “ඇදහිල්ල හෝ ආගම්” ලෙස හඳුන්වනු ලබන දේවල් අනුගමනය කරමින්, නොයෙකුත් වන්දනා ස්ථාන වල රැස්වෙමින්, තමන් අදහන දෙවිඳුන්ට වැඳුම් පිදුම්ද කරති. එනමුත් නියත වශයෙන්ම කෙනෙකුගේ ‘දෙවියන් වන්නේ’ තමන්ගේ ජීවිතයේ, එනම් “හදවතේ සහ මනසේ” මුල් ස්ථානය තිබෙන ‘තැනැත්තාට හෝ දෙයට’යි. මිනිසුන්ගේ ජීවිත දෙස බලන කල ඉතා පැහැදිලිවම පෙන්නුම් කරන දෙය වන්නේ, “කුමන ආගමක් ඇදහුවත්, කුමන ස්ථානයකට ගියත්”, ඔවුන්ගේ ජීවිත වල මුල් ස්ථානය ඇත්තේ, “වස්තුවට සහ මුදල්” වලට බවයි.
මතෙව් 6:24 හි මෙසියස් වහන්සේ මෙසේ වදාළ සේක. “’කිසිවෙකුට ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කරන්නට නුපුළුවන”. බයිබලය පුරාවටම පැහැදිලිව පෙන්නුම් කෙරෙන දෙය වන්නේ, “ආලෝකයේ රාජ්‍යය සහ අන්ධකාර රාජ්‍යය අතර සටනක් ඇති බවයි”. ඒ ප්‍රකාර මෙසියස් වහන්සේ පැවසිය යුතුව තිබුනේ, ප්‍රධානතම ස්වාමිවරුන් දෙදෙනා, “යාඃහවේ දෙවිඳුන් සහ යක්ෂයා” ලෙසයි. එනමුත් එතුමන් එසේ පැවසුවේ නැත. ‘තමකම’ යන්නද, බහුතරයකගේ සිතේ මුල් ස්ථානයේ ඇත. ලූක් 9 :23නේ සඳහන් ප්‍රකාර, “එතුමන් අනුගමනය කරන්නන් විසින්, දිනපතා තම ආශා (තමකම) ඉවතලා, කුරුසිය කරටගෙන, තමන් වහන්සේ පසුපස ආ යුතු බවයි”. එහෙයින් එම ස්වාමිවරුන් දෙදෙනා, ‘දෙවිඳුන් සහ තමන්’ ලෙස උවද, හැඳින්විය හැකිව තිබුණි.
එනමුත් ඒ කිසිවක් නොකියා, එතුමන් පවසා සිටියේ ඒ දෙදෙනා “දෙවිඳුන් සහ වස්තුව” කියායි.
“මිනිසුන් මුදල් උදෙසා ඕනෑම දෙයක් කරති” යන කියමන, වර්තමානයේ නොයෙකුත් අවස්ථාවන්හීදී අසන්නට ලැබෙන්නකි. එයින්ද පෙන්නුම් කෙරෙන්නේ, මෙසියස් වහන්සේ මීට අවුරුදු 2000 කට ප්‍රථම කී දේ, අදටත් බොහෝ ලෙස සත්යව තිබෙන බවයි.
සර්වබලධාරී මැවුම්කාර දෙවිඳුන්, එතුමන්ගේ විනිශ්චය ඊජිප්තුවේ සෙනඟ මත පමුණුවන්නට ප්‍රථම, ඔවුන් ඇදහූ දෙවිවරුන්හ හට, පීඩාවන් 9ක් කරණකොටගෙන, තම සේවක මෝසෙස් තුළින් පහර දුන් සේක. කිසිදාක වෙනස් නොවන දෙවිඳුන් (ගණන්කථාව 23:19 සහ මලාකි 3:6) වර්තමානයේ ද එලෙසම ක්‍රියාකරන බව පැහැදිලිය.
මෙලොව තිබෙන සෑම දෙයක්ම ‘දිරාපත් වෙමින් විනාශයට යන’ බව කා හට වුවත් පැහැදිලිව පෙනෙන දෙයකි. එය ගීතාවලිය 102:26 සහ 27 යන පදවල සඳහන් වන අතර, හේබ්‍රෙව් 1:11 සහ 12 යන පද වලද උපුටා දක්වා ඇත. එය “ක්ෂයවීමේ විද්‍යාව” නොහොත් “Science of Atrophy” ලෙස හඳුන්වනු ලැබේ.
“දෙවියන්වහන්සේ සදාකාලික” බව, ඉහත සඳහන් පද ඇතුළුව, බයිබලය පුරාවටම පැහැදිලිව පෙන්නුම් කරන්නාවූ සත්‍යතාවකි. එම නිසා එතුමන්ගේ කැමැත්ත වන්නේ, “මෙලොව මිනිසුන් විනාශ වන්නාවූ වස්තුව මත යැපීම අතහැර, සදාකාලික තමන්වහන්සේ මත යැපෙන්නට පුරුදුව, නියත වශයෙන්ම සදාකාලික දේවල්, පැමිණෙන යුගයේ භුක්ති විඳීමයි”. ඒ පිළිබඳව මෙසියස් වහන්සේ පැවසූ දේ, මතෙව් 6:19 -23 දක්වා පදවල මෙලෙස සඳහන්ව ඇත, “මේ පොළවෙහි වස්තුව රැස්කර නොතබන්න. ‘කාවෝද, මළකඩද ඒවා නාස්ති කරති. සොරුද, උමංකැන සොරා ගනිති’. නුමුත් ස්වර්ගීක සථානයන්හී ඔබහට වස්තු රැස්කර තබාගන්න. එහි, කාවෝවත්, මළකඩවත්, ඒවා විනාශ නොකරති. උමංකැන සොරුද සොරා නොගනිති. මක්නිසාද, ඔබේ වස්තුව කොතැනකද? ඔබේ සිතත් එතැනම වන්නේය”.
මේ සියලු දෙයක් හේතුකොටගෙන, ‘ලොවපුරා ආර්ථිකය පාලනය කරන’ එම නගරය විනාශයට පත්කිරීමෙන්, එතුමන් පෙන්නුම්කර සිටින්නේ, ඊජිප්තුවේ සෙනඟට ප්‍රකාශ කළ දෙයමය. ඒ නම්, “මෙළොව බහුතරයක් ‘දේවත්තයෙන් පුදන’, මේ විනාශ වන්නාවූ වස්තුව මත යැපීමෙන් ඉවත්වී, සදාකාලික එතුමන් මත යැපීමට පැමිණෙමින්, මතු යුගයේදී, නිශ්චිත සැප සම්පත් භුක්ති විඳීීීමට සුදුසුකම් ලබන ලෙසයි”.
එම ප්රකාශණය පිළිඳව සමහර අයගේ සිත් වලට පැමිණිය හැකි අදහස, “ඇත්තෙන්ම මතු යුගයක් ඇද්ද?” විය හැකියි.
එම පැනයට පිළිතුරු දෙආකාරයකින් යොමුකල හැක. ‘මරණය මිනිසකුගේ ජීවිතයේ අවසානය නොවන බව, සෑමකෙනෙතුගේම හදපත්ලේ ඇති සත්‍යතාවයකි. එය තමන් මෙලොව ජීවත්ව සිටින කලම බොහෝ දෙනකු, ‘මතු ජීවිතය යහපත්වේවා’ යන අදහසින් ‘දැහැමි ක්රියාවන්හී’ නිරත වීමෙන්ම සනාථවේ. තවද, යම් කෙනෙකුගේ ඉල්ලීම පරිදි හෝ, එවැන්නකු ගැන ඇති ලෙන්ගතුකම නිසා හෝ, යමෙක් මියගිය පසු ‘ආගමීක වතාවත් කරමින්, දාන යනාදිය’ දෙන්නේද, එම මියගිය කෙනාගේ ජීවිතය තවම අවසන්වී නොමැති බවට ‘යම් නිශ්චිත භාවයක්’ ඇති හෙයින්, ඒවා හේතුකොටගෙන, එම තැනැත්තා ‘ලබා ගත්තාවූ ජීවිතයේ යම් යහපතක් භුක්ති විඳීවා’ යන අරමුණෙනි. ඒ පළමු පිළිතුරයි.
දෙවැන්න වන්නේ, නීතියෙන් එලෙස කියා නොතිබුණත්, ‘මෝටර් රථ රක්ෂණයක්’ ලබාගැනීම ‘නුවණට හුරු ක්‍රියාවක්’ වීමයි. යමෙකු ‘මම රිය අනතුරකට ගොදුරු නොවෙමි’ යැයි, කෙතරම් අධිෂ්ඨාන පූර්වකව සිතා සිටියත්, එලෙස සිදුවීමට ඉඩ ඇත. ඒ ආකාරයෙන්ම, දිනක අවසන් වන බව හොඳ හැටිම දන්නාවූ “මෙම ජීවිතය” පුරාවටම, ‘විනාශ වන බවට’ දෑසට පෙනෙන්නාවූ මෙලොව වස්තුව වෙනුවට, යම් හෙයකින් හෝ ‘තිබිය හැකි බවට අනුමානයක්’ හෝ ඇති, සදාකාලික දෙයක් උදෙසා ‘ආයෝජනයක් කිරීමත්’, නුවණට හුරු ක්‍රියාවකි. තවද, ‘කළ හොඳ හෝ නරක’ මෙම ජීවිතයේම භුක්ති විඳීන බවද, මැනැවින් දැකගත හැකි දෙයක්දවේ.
තව කරුණක්ද අවධානයට භාජනය කළයුතුවේ. ‘රක්ෂණයක්’ ලබාගැනීම පිණිස ඕනෑම කෙනෙකු හට, ඒවා ‘ප්රදානය කෙරෙන ස්ථානයකට’ යායුතුව ඇත. එලෙසම යම් ‘පෝර්මයක්’ පිරවීම වැනි කටයුත්තක්ද කළයුතු වන්නේය. එලෙස අයැදුම් කරන්නාගේ ‘ආගම, ජාතිය, භාෂාව, කුලය’ වැනිදෑ, එම ආයතනයට ප්‍රශනයක් නොවේ.
මැවුම්කාර දෙවිඳුන් වැඩවසන “ස්ථානයට” යෑමට නම්, මෙලොව වසන්නන් හට සාමාන්‍යයෙන් අවකාශ නොමැත. එහෙත් එය ප්‍රශ්නයක් නොවන්නේ, “තමන් ඉන්නාවූ ස්ථානයේ සිටම, එතුමන් හට ආයාචනා කිරීමට, ලොව කුමන ප්‍රදේශයක වුවත් සිටින්නෙකුට පුළුවන් ” හෙයිනි. එලෙසම, ආයාචනා කරන්නන්ගේ ‘ආගම, ජාතිය, භාෂාව, කුලය’ වැනිදෑ, එතුමන් හටද අදාල නැත.
දෙවිඳුන් බලාපොරොත්තු වන එකම දෙය “අවංක භාවය” පමණි. “අවංක” වන සෑම කෙනෙකුටම ‘පිළිගැනීමට වන’ කරුණ වන්නේ, “තමන් සෑම අංශයෙන්ම සම්පූර්ණ නොවන හෙයින්, අතපසු වීම් සහ නොයෙකුත් වැරදි, ‘දැන හෝ නොදැන’ තමන් අතින් සිදුවන බවයි”. ‘පෝර්මයක්’ පිරවීම වන්නේ, ඒබව පිළිගෙන, සමාවන මෙන් ඇයද සිටීමයි. ඒ සඳහා කිසිම ‘ආගමික ස්ථානයකට’ යෑමට අවශ්‍ය නැත. මැවුම්කාර දෙවිඳුන් සර්වබලධාරී හෙයින්, ඕනෑම කෙනෙකු විසින් ‘එතැන් පටන් කළයුතු දෑ’ පෙන්වා දීමට, එතුමන් හට, ඉතා මැනවින් පුළුවන.
කලින් උපුටා දක්වා ඇති ඡේදයෙහි, මෙසියස් වහන්සේ තවදුරටත් “ප්‍රථමයෙන් දේව රාජ්‍යයත්, එහි ධර්මිෂ්ඨකමත් සොයන්න. එවිට මේ සියලු දේ (අවශ්‍යකරන සෑම දෙයක්ම) ඔබට දෙනු ලබන්නේය” කියා වදාළ බව මතෙව් 6:33 හි සඳහන්ව ඇත. ‘ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කරන’ නොහොත් ‘ක්‍රිස්තියානි’ යයි කියා සිටින්නන්, “තමන් දේව රාජ්‍යය සොයන බව” පවසා සිටියත්, “ප්‍රථමයෙන් සොයන බව” නම්, එවැන්නන් බොහොමයකගේ ජීවිතවල දැකගත නොහැක. මෙසියස් වහන්සේ පවසා සිටියේ, ‘අනෙකුත් දේවල් කරන ගමන් දේව රාජ්‍යයත් සොයන්න’ කියා නොව “ප්‍රථමයෙන් සොයන්න” කියායි.
තවද, ‘සොයනවා’ පමණක් නොව, “එහි ධර්මිෂ්ඨකම අනුව ජීවත්වීමද” අවශ්‍ය බව එම පදයේ සඳහන්ව ඇත. එයින් අදහස් වන්නේ “එතුමන්ගේ උපදෙස් අනුව ජීවත්වීමයි”. ඒ ප්‍රකාර, කෙනෙකුගේ ජීවිතයේ නියත වශයෙන්ම ‘දෙවිඳුන්ට ප්‍රථම ස්ථානය තිබෙන බව’ ඒ කෙනාගේ “ජීවිත රටාවෙන්” පෙන්නුම් කරනු ලැබේ.
එවැනි අය, මෙළොව ‘කුමන අදියරයකට’ මුහුණ පෑවත්, කුමන දෙයක් සිදුවුවත්, භියපත් විය යුතු නොවන්නේ, “සදාකාලික දෙවිඳුන් තමන්ව ආරක්ෂාකරන බවට සහතිකය” එකල ඒ අයගේ සිත් වලට සහතික ලෙස ඇතුළුව තිබෙන හෙයිනි. ගීතාවලිය 23 හි සඳහන් ප්‍රකාර “බැටළුවා, එඬේරා මත මුළුමනින්ම යැපෙන්නේ නම්, ඒ යහපත් එඬේරා, තමන්වහන්සේගේ බැටළුවන් රැකබලා ගන්නා බව” නම් ස්ථීරය.
මෙලොව වසන මිනිසුන් බොහොමයකගේ ‘දෙවියන්ව’ සිටින “මුදල් නොහොත් වස්තුව” විනාශ වීමට එතුමන් ඉඩ දෙන්නේ, “සැබෑ වස්තුව භුක්තිවිඳන පිණිස, සදාකාලික දෙවිඳුන් වෙත පැමිණෙන්නට” මනුෂ්‍යයන්ගේ ‘දෑස්’ විවෘත කරන පිණිසයි.