බයිබලයේ මෙන්ම මිනිස් ඉතිහාසයේ සඳහන් ප්‍රකාර, මැදපෙරදිග ආරම්භ වූ මිනිස් ශිෂ්ඨාචාරය, ලෝකයේ වෙනත් දිශාවන් වෙත ගලා ගොස්, නැවතත් “මැදපෙරදිගටම” පැමිණ තිබෙන ආකාරය, මාධ්‍යයේ ප්‍රචාරය වන ප්රවෘත්ති වලින්ම පැහැදිලි වේ. විටින් විට ඇෆ්ගනිස්ථානය වැනි ස්ථාන වල සිදුවන දේවල් මෙන්ම, නොයෙකුත් ආකාරයේ ස්වභාවික විපත් පිළිබඳව අවධානය යොමු වුවත්, නැවත වරක් මැදපෙරදිග සහ ඉශ්‍රායලය කෙරෙහි අවධානය වැඩිපුර යොමුවී ඇති බව, ජාත්‍යන්තර ප්රවෘත්ති විකාශය කෙරෙන නාලිකා වල අපට දැකගත හැකිය.
ඊට ප්‍රධානතම හේතුව වන්නේ, දෙවියන්වහන්සේගේ ක්රියාකාරිත්වයන් ‘සම්පූර්ණ වන්නේ’ “චක්රයන්” ලෙස වීමයි. උදාහරණයන් පෙන්නුම් කලහොත්, ‘ගසක කොළ බිම වැටී සතුන් ඒවා අනුභව කොට, එම සතුන්ගේ වසුරු (අසූචි) පොහොර වී, ඒවා ගසේ මුල් හරහා නැවත ගසට අවශෝෂණය කරගෙන, යලි කොළ හටගැනීම’ සිදුවේ. එය එක ‘චක්රයකි’. එමෙන්ම ගස්වල කොළ, හිරු එළිය සමග එකතුව ආහාර නිෂ්පාදනය වන කළ, ‘වාෂ්ප වශයෙන් ජලය වායුගෝලයට ඇතුල්වේ. ඉන්පසු එම ජලය ඝන වළාකුළු බවට පත්වී, නැවත වරක් වර්ෂාව ලෙස බිමට පතිත වේ. එසේ පතිත වන ජලය, ගසේ මුල් හරහා ගසට ඇතුල්වී, නැවතත් කොළ කරණකොටගෙන වාෂ්ප’ බවට පත් වේ. මේ ආකාරයෙන් නොයෙකුත් චක්රයන් මැවිල්ල පුරාවටම දැකගත හැකිය. දේව වචනයේ ලියා ඇති දේද, එලෙස ‘චක්රයන්’ ලෙස පෙන්නුම්කර ඇති බව, බහුතරයක් ඒත්තු නොගනිති.
මෙම වෙබ් අඩවිය හැඳින්වීමෙහිද සඳහන් දේශනාකාරයා 1:9, “මතු ඇතිවන්නේ තිබුණාවූ දේමය; කරන්ට තිබෙන්නේ කළාවූ දේමය. මෙසේ ඉර යට අමුතු දෙයක් නැත” යන්නද, එම සත්‍යතාවය කදිමට සනාථ කරයි. එසේම “එළිදරව් පොත” වැනි විශේෂිත ග්රන්ථයක් අධ්‍යයනය කරන කළද, මෙලෙස ‘චක්රයන්’ ලෙස එහි ඇති බොහෝ දේ ලියා ඇති බව ඒත්තු නොගෙන, ඒවා ‘එකදිගට ගලායන්නාවූ’ ක්‍රියාවන් ලෙස අධ්‍යයනය කිරීමෙන්, එහි තිබෙන “සැබෑ පිංතූරය” බොහෝ විට වැසී ඇත. එහෙයින් එය උගන්වන කලද නොයෙකුත් ව්‍යාකූලතාවයන්ට බොහෝ දෙනෙකු ගොදුරු වෙති.
මේ ආකාරයෙන් නැවත වරක් මැදපෙරදිග, විශේෂයෙන්ම ඉශ්‍රායලයට විරුද්ධව යුද්ධ පැමිණෙන බව දේව වචනයේ සඳහන් වෙතත්, බොහෝ අවස්ථා වලදී දේව වචනය උගන්වන අය තමන්ගේ ‘සිතේ ඇඳෙන පිංතූර’ වලට, “දේව වචනයේ සඳහන් පද”, ඒවායේ ‘පසුබිම’ සැලකිල්ලට නොගෙන අදාල කරගැනීම හේතුවෙන්, බොහෝ විට දේව වචනයේ පෙන්නුම්කර තිබෙන දේ “නිසි ආකාරව” පහදා දීමට අපොහොසත්ව සිටිති.
මෙයට කදිම උදාහරණයක් වන්නේ “එසකියෙල් 38 හි සඳහන් යුද්ධය” මීළඟට මැදපෙරදිග ‘ඇතිවන යුද්ධය බව’ පැවසීමයි. එම පරිච්ඡේදයේ 11 සහ 12 පදයන් නිසි ආකාරව අධ්‍යයනය කළේ නම්, මීළඟට පැමිණෙන යුද්ධය, එසකියෙල් 38 හි සඳහන් එක නොවන බව සක්සුදක්සේ පැහැදිලිවනු ඇත. “ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඒ කාලයෙහි නුඹේ සිතට කාරණා පහළව, නුඹ නපුරු යෝජනාවක් කරගෙන කථාකොට, ‘මම පවුරු රහිත ගම් ඇති දේශයට විරුද්ධව නැගී ගොස්, නිශ්චලකමින් සිට නිසැකව වාසයකරන අය ළඟට පැමිණෙන්නෙමි’; ඔවුන් සියල්ලෝම ‘පවුරු නැතුව වාසයකරති, ඔවුන්ට අගුල්ද දොරවල්ද නැතැයි’ කියනවා ඇත”. [11 වන පදය]
එහි පැහැදිලිව සඳහන් වන්නේ ‘පවුරු රහිත’ ගම් ඇති දේශය වෙත නැගී ගොස්, ‘නිශ්චලකමින් සිට නිසැකව’ වාසයකරන අය ළඟට, සතුරු හමුදාව පැමිණෙන බවයි.
අද ඉශ්‍රායලය දෙස බලන ඕනෑම කෙනෙකු හට, ඔවුන් ‘නිෂ්චලව, නිසැකව’ වාසය කරන බවක් කිසිසේත් දැකගත නොහැක. “පවුරු රහිත” යන්නෙන් අදහස් වන්නේ, ‘ආරක්ෂක පියවරවල්’ ගෙන නොමැති බවයි. පුරාතන නගරයන් ‘ආරක්ෂා කිරීම’ සඳහා ඒවා වටා විශාල තාප්පයන් ඉදිකර තිබූ බව, පුරාණ නගරයන් වල ඡායාරූප දැක ඇති අය පැහැදිලිව දන්නා කරුණකි. ලංකාවේද ගාල්ල, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශ වල එවැනි බලකොටු (විශාල තාප්ප වලින් ආවරණය වූ භූමීන්) දැකගතහැකිය.
එහෙයින්, “පවුරු නොමැතිව” යන්නෙන් අදහස් වන්නේ, කිසිඳු ‘ආරක්ෂක පියවරයන්’ නොමැතිව “සමාදානයෙන් හා නිෂ්චලකමින් වාසය කරන” ඉශ්රායලයකි. ඉහත උපුටා දක්වා ඇති එසකියෙල් 38:11හි සඳහන්ව ඇත්තේ, එලෙස “සාමකාමිව සිටින්නාවූ ඉශ්රායලයක්” වෙත, සතුරු හමුදාවන් පහරදීමට පැමිණෙන බවයි.
මීට මාස කිහිපයකට ඉහත දී ‘හමාස්’ ත්‍රස්ත කල්ලිය විසින් එවන ලද රොකට් 3000 ක් පමණ, ඉශ්‍රායලයේ ඉතා උසස් මට්ටමක පිහිටා ඇති ‘තාක්ෂණ අංශයෙන් සන්නද්ධ මිසයිල ආරක්ෂණ පද්ධතිය’ මගින් විනාශ කළ ආකාරය, බොහෝ දෙනෙකු හට දැකගත හැකිවුණි. එලෙසම ඉශ්‍රායලය සතු යුධ හමුදාව, ගුවන් හමුදාව, අවි ආයුධ හා යුධ උපකරණ මෙන්ම මිසයිල ආරක්ෂණ පද්ධතියද, ලෝකයේ උසස්ම අදියරයක පිහිටා ඇති බව, ඔවුන්ගේ සතුරන් පවා දන්නා දෙයකි.
ඒහා සමානවම, ලෝකයේ විශිෂ්ඨතම රහස් ඔත්තු සේවාව ඉශ්‍රායලයේ “මොසා(z)ඩ්” බව, මුළු ලෝකයම අවිවාදයෙන් යුතුව පිළිගන්නා අතර, ඊට අමතරව“ශින්බෙත්” වැනි වෙනත් ආරක්ෂක අංශයන් ද ඇත.
වර්තමානයේ මේ සෑම දෙයින් සන්නද්ධ ඉශ්‍රායලය, ඉහත එසකියෙල් 38 හි සඳහන් “ජනයා” හට කිසිසේත් සමාන කළ නොහැක. එය ‘අහසට පොළොව’ මෙන් විරුද්ධ පිංතූරයකි.
එමෙන්ම එහි 12 වන පදයේ දෙවියන්වහන්සේ විසින් මෙලෙස පවසන බව සඳහන්ව ඇත; “නුඹ එසේ පැමිණෙන්නේ ‘කොල්ලකෑමටත් සම්පත් උදුරාගැනීමටත්’ මනුෂ්‍යයන් වාසය කරන්නාවූ පාළුව තිබුණු ස්ථානවලටද, ජාතීන් අතරෙන් රැස්වී සිටින්නාවූ, ‘සිව්පාවුන් සහ සම්පත් ලබාගෙන’ පොළොවේ මැද ස්ථානයෙහි වසන්නාවූ සෙනඟටද විරුද්ධව නුඹේ අත හැරවීමටත්ය”.
වර්තමානයේ මැදපෙරදිග පිහිටි සමහර අරාබි රටවල් සහ ත්‍රස්ත කල්ලි විසින් ‘ඉශ්‍රායලය සහමුලින්ම අතුගා දැමිය යුතු බවත්, යුදෙව්වන්ව මධ්‍යධරණී මුහුදේ ගිල්වා මරණ බවත්’ පවසා සිටින්නේ, ඔවුන් “යුදෙව් විරෝධී” වන බැවිනි. වර්තමානයේ ඉශ්‍රායලයේ ඇති ‘වස්තූන්’ ගැන ඔවුනට කිසිම තැකීමක් නැත.
ඉහත සඳහන් එසකියෙල් 38:12 වන පදයේ ලියා ඇත්තේ, එම හමුදාව ‘යුදෙව් විරෝධී’ බැවින් පැමිණෙනවා කියා නොව, ඉශ්‍රායලයේ තිබෙන “අධික වස්තුව නිසා ඒවා කොල්ලකෑමට” පැමිණෙන බවයි.
එලෙස මෙම පද නිසි ආකාරව සළකා බලන කල දැකගත හැකි පිංතූරය වන්නේ, “ඉශ්‍රායලය, කිසිඳු ‘ආරක්ෂක පියවරයන්’ නොමැතිව, ‘ධනවත්ව’ වසන කල, එම ධනය කොල්ලකෑමට පැමිණෙන්නාවූ හමුදාවක් පිළිබඳවයි.” එබැවින් එසකියෙල් 38 හි ලියැවී ඇත්තේ, මීළඟට පැමිණෙන ‘ඊශ්‍රායෙල් විරෝධි යුද්ධය’ පිළිබඳව නම් නොවන බව, මනාව පැහැදිළිවේ.
මෙහිදී සමහර අයට නැගෙන ප්රශ්නයන් විය හැක්කේ, “එසේ නම් මැදපෙරදිග යුද්ධයක් සිදු නොවන්නේද? ඉශ්‍රායලය විසින් ඉරානයට පහරදීමක් සිදු නොවන්නේද?” කියායි.
ඉශ්‍රායලයේ මීළග යුද්ධය, ‘ඉරානය පමණක්’ සමග නොව, ඉශ්‍රායලය වටා ඇති ‘සියළුම රටවල් සමග’ කෙරෙන්නාවූ යුද්ධයක් බව කිව යුතුය.
එලෙස “ඉශ්‍රායලය වටා ඇති සියළුම රටවල් ඉශ්‍රායලයට විරුද්ධව යුද්ධයකට පැමිණෙන බව” ගීතාවලිය 83 හි පෙන්නුම් කර තිබෙන අතර, එහි 4 සහ 5 වන පදවල පෙන්නුම් කෙරෙන්නේ, වර්තමානයේ මෙන්, “යුදෙව් විරෝධී” ආකල්පයක් ඇති සෙනඟකි.
එලෙස ඔවුන් සියල්ලෝම විරුද්ධව පැමිණීමට හේතුව, යෙසායා 17:1 හි සඳහන් පරිදි “සිරියාවේ අගනුවර වන දමස්කය නටඹුන් නගරයක් බවට පත්වීමයි”.
මෙවැනිදේ මීට ඉහත පලකළ ලිපි වලින්ද පෙන්වා දී තිබුණත්, මෙය නැවත සඳහන් කිරීම යෝග්‍ය වන්නේ, බොහෝ අයගේ සිත්වල පවතින වැරදි මතය වෙනුවට, “දේව වචනයේ සඳහන් නිවැරදි පිංතූරය” පහදාදීම අවශ්‍ය බැවිනි. එලෙස එම යුද්ධයන් පැමිණෙන අනුපිළිවෙල, දේව වචනය ප්‍රකාර මෙලෙස දැක්විය හැක.
යෙසායා 17:1 සම්පූර්ණ වෙමින්, “දමස්කය නටඹුන් නගරයක්” වනු ඇත. දැනටමත් ඉරානය විසින් ලෙබනනයේ ඇති හිස්බුල්ලා ත්‍රස්ත සංවිධානය වෙත නොයෙකුත් අවි ආයුධ, සිරියාව හරහා යවන කල, ඉශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාර යවා ඒවා විනාශ කරන බව, මැදපෙරදිග සිටින කවුරුත් දන්නා දෙයකි. ඉදිරියේදී ‘ඉවසීම ඉක්මවා ගියා’ මෙන්, වඩ වඩා අවි අයුධ ඉරානය විසින් හිස්බුල්ලා සංවිධානය වෙත යවන්නට පුළුවන. එවිට ඉශ්‍රායලය විසින් සිදුකරන මිසයිල ප්රහාරද වැඩිවනු ඇත. ඒ ප්‍රකාර හෝ වෙනත් ආකාරයකට හෝ ඉශ්‍රායලයේ පහරදීමකින් දමස්කය විනාශ වනවාට කිසිඳු සැකයක් නොමැත. එවිට සියළු ‘සාම ගිවිසුම්’ පසෙකලා, ගීතාවලිය 83 හි පැහැදිලිව සඳහන් ප්‍රකාර, මුළු මැද පෙරදිගම ඉශ්‍රායලයට විරුද්ධව යුද්ධයකට පැමිණෙනු ඇත.
එහෙයින් “දේව වචනය ප්‍රකාර”, මීළඟට මැද පෙරදිග ඇතිවන “පළමු යුද්ධය” වන්නේ එයයි.
ඉශ්‍රායලයට විරුද්ධව පැමිණෙන රටවල් “පුරාතනයේ හැඳින්වූ නම් ප්‍රකාර” ගීතාවලිය 83 හි සඳහන්ව ඇති අතර, සිරියාව හැඳින්වූ “ආරාම්” යන නාමය සඳහන්ව නොමැති බව දැකගතහැකිවේ. එයට හේතු වන්නේ දමස්කය සම්පූර්ණයෙන් විනාශවූ කල, ‘සිරියාව’ද රාජ්‍යයක් ලෙස නොසැලකෙන බැවිනි.
“තමන්වහන්සේ විසින් තෝරා ගත් සෙනඟට එලෙස පහර දීමට, උන්වහන්සේ ඉඩ දේවිද?” යන්න සමහර අයහට ගැටළුවක් විය හැක.
දෙවියන්වහන්සේ “සර්වසාධාරණ” හෙයින්, එතුමන්ගේ ක්‍රියාකාරිත්වය “උන්වහන්සේ විසින් තෝරාගත් සෙනඟටත්, සෙසු මනුෂ්‍ය වර්ගයාටත් ඒකාකාරීව පවතින බව” රෝම 2:8-10 දක්වා පාවුළුතුමා පැහැදිලිව පෙන්නුම් කරදෙයි. දෙවියන්වහන්සේ තුළ කිසිඳු ‘පක්ෂපාතිත්වයක්’ නොමැති අතර, “යමෙක් නිවැරදි දේ කළහොත්, ඔහුට එහි විපාකයද, වැරදි දේ කරන්නා හට ඒ උදෙසා විපාකයද දීමට, එතුමන් මැළි නොවන බව” දේව වචනට පුරාවටමද [ගලාති 6:7 වැනි පද] පැහැදිලිව ලියා ඇති සත්‍යතාවයකි.
දෙවියන්වහන්සේ ද්වේශකරන ප්‍රධානතම කරුණක් වන්නේ උඩඟුකමයි. ඉශ්‍රායලය උඩඟුව සිටින බව කාහට වුවත් දැකගතහැක. පුරාතනයේදී “දෙවියන්වහන්සේ විසින් තෝරාගත් සෙනඟ තමන් බවත්, දේව වචනය ඇත්තේ තමන් තුළ බවත් (ව්‍යවස්ථාව දී තිබෙන්නේ තමන්ට බව), මෙසියස් වහන්සේ මේ පොළොවට එවීමට දෙවිඳුන් විසින් තෝරාගත් “දාවිත්ගේ වංශය” තමන් අතරේ බවත් හා ලෝකයේ උසස්තම මනුෂ්‍ය කොට්ඨාශය තමන් බවත්” ප්‍රකාශකරමින්, ඒ තුළ උඩඟුකමට පැමිණ තිබුණි. වර්තමානයේද ඒ ආකාරවම, ‘මැදපෙරදිග පමණක් නොව මුළු ලෝකයේම බලගතු රටක් මෙන්ම, ආර්ථික, යුධ උපකරණ හා තාක්ෂණ යනාදි නොයෙකුත් අංශයන්ගෙන් ඉහළින්ම සිටින්නේ තමන් බවත්’ දන්නා හෙයින්, ඔවුන් තුළ තිබෙන්නා වූ උඩඟුවද අධිකව ඇත.
දෙවියන්වහන්සේ විසින් ‘එම උඩඟුව’ ඔවුන්ගෙන් ඉවත්කරන බව යෙසායා 29 හි පැහැදිලිව සඳහන්කර තිබේ. එහෙයින් මෙම “සතුරු හමුදා පැමිණෙන්නට සලස් වන බව” යෙසායා 29:1-3 දක්වා දෙවියන්වහන්සේ පැහැදිලිව පවසා, 4 වන පදයේ සඳහන් කර සිටින්නේ, එම උඩගුව එලෙස ඉවත්ව, ඔවුන් “පහත් කරනු ලැබූ විට, බිම සිට කථා කරනවාක් මෙන් ඔවුන්ගේ හඬ දූවිල්ලෙන් පැමිණෙන බවයි”.
එලෙස සිදුවීමට මූලික වන්නේ ගීතාවලිය 83 හි සඳහන් යුද්ධය බව, එහි 13 වන පදය, යෙසායා 29:5 හා සමග සසඳන කල දැකගත හැකිවේ. එම යුද්ධයේදී, ඔවුන් විසින් වර්තමානයේ යැපෙන යුධායුධ ‘ක්‍රියාවිරහිත වීමෙන්’ හෝ වෙනත් හේතූන් නිසා ඔවුනට ‘බලාපොරොත්තු රහිත තත්වයකට’ පත්වීමට සිදුවනු ඇත. එවැනි දෙයක් සිදුවීම සම්බන්ධ යම් “ඉඟි”, මීට පෙර හමාස් සහ හිස්බුල්ලා සටන්කාමීන් විසින් එළ්ල කළ මිසයිල ප්‍රහාර වැළැක්වීමේදී, ඉශ්‍රායලය සතු යුධායුධ සමහර අවස්ථාවන්හීදී ‘ක්‍රියා විරහිත තත්වයකට’ පත්වූ බැවින්, පෙන්නුම් කෙරුණි.
එය දෙවියන්වහන්සේ විසින් ඔවුනට කළ “අනතුරු ඇඟවීමක්” වුවද, ඔවුන් එය නිසි ලෙස වටහාගෙන නොතිබෙන බව පැහැදිලිය.
තමන්ගේ “අසරණභාවයත්, තමන්ගේ ශක්තියෙන් කිසිවක් කළ නොහැකි බවත්”, ඉශ්‍රායලයට පැහැදිලිව ඒත්තු ගිය කල, ඔවුන් කරන්නාවූ යාච්ඤාව ගීතාවලිය 83:13 වන පදයේ සිට පැහැදිලිව සඳහන්ව ඇත. එම පදය මෙසේ වේ; “මාගේ දෙවියන්වහන්ස, ඔවුන් කර ‘කැවෙන ධූලි මෙන්ද, සුළඟින් විසිරයන ඉපනැලි’ මෙන්ද කළ මැනව. වනය පුලුස්සන ගිනි යම්සේද, කඳු දල්වන ගිනිදැල යම්සේද, එසේම ඔබගේ කුණාටුවෙන් ඔවුන් ලුහුබඳවා, ඔබගේ සැර සුළඟෙන් ඔවුන් භය ගැන්නුව මැනව”.
එලෙසම යෙසායා 29:5-7 දක්වා මෙලෙස සඳහන් වේ. “එහෙත් නුඹට සතුරුවූ විදේශි සමූහයා ‘සිහින් ධූලි මෙන්ද බලාත්කාර සමූහයා පහව යන බොල්’ මෙන්ද වන්නේය. එසේය, ඇසිල්ලකින්ම එය සිදුවන්නේය සේනාවල ස්වාමීන්වහන්සේ වෙතින් ගර්ජනාවක්ද, පොළෝකම්පාවක්ද, මහත් ඝෝෂාවක්ද, සුළිහුළඟක්ද, කුණාටුවක්ද, විනාශකරන ගිනිදළුවක්ද, ඈ පිටට පැමිණෙන්නේය. අරියෙල්ට [යෙරුසලමට] විරුද්ධව සටන් කරන සියලු ජාතීන්ගේ සමූහයා, එනම් ඈට සහ ඇගේ බලකොටුවට විරුද්ධව සටන්කරන්නාවූද, ඈට විපත පමුණුවන්නාවූද සියල්ලෝ හීනයක්, එනම් රාත්‍රියේ දර්ශනයක් මෙන් වන්නෝය”.
ගීතාවලිය 83 සහ යෙසායා 29 හි සඳහන් පදයන් සංසන්දනය කරන කළ පෙනීයන්නේ, ගීතාවලිය 83 හි සඳහන් යාච්ඤාවට දෙවියන්වහන්සේ ප්‍රතිචාර දක්වන ආකාරයයි. එලෙස එම සියලු හමුදාවන් දෙවියන්වහන්සේ විසින් විනාශ කළවිට, වර්තමානයේ ඉශ්‍රායලයට විරුද්ධව තිබෙන්නාවූ ‘ප්‍රධානතම කරුණු’ ඉවත්වනු ඇත.
එලෙස ‘ඉශ්රායෙල් හෝ යුදෙව් විරෝධී ක්‍රියා’ මැද පෙරදිගින් ඉවත්වූ කළ, “ආරක්ෂිත රැකවරණයන් කිසිවක් නොමැතිව” එසකියෙල් 38:11හි සඳහන් ප්‍රකාරයට, “ඉශ්‍රායලයට සමාදානයෙන් හා නිසැකකමින් ජීවත්වීමට” අවකාශය උදාවනු ඇත.
නායකයන් දස (10) දෙනෙකුගෙන් යුතු ගෝලීය රාජ්‍යය එකල ස්ථාපිත වේ. දානියෙල් 7:8 සහ 22,23 පද සහ යොහාන් 17:12 දීද එය සඳහන්ව ඇත. එසේ එම නායකයන් දස දෙනා, කෙටි කලකට ‘මුළු ලොව’ පාලනය කළ පසු, ඉන් නායකයන් ‘තිදෙනෙකු’ දානියෙල් 7:8හි සහ 24වන පදවල සඳහන් ප්‍රකාර ඉවත් වන්නේ, ඉශ්‍රායලයට විරුද්ධව යුද්ධයකට පැමිණීම හේතුවෙනි.
ඒ අනුව එසකියෙල් 38 හි සඳහන් වන්නේ, එම “දෙවන යුද්ධය” පිළිබඳවයි. එහි 1 – 4 වන පදයන් ප්‍රකාර, එම නායකයන් තිදෙනා වන්නේ රුසියාව, යුරෝපීය පොදු හවුලේ නායකත්වය දරන ‘ගෝමෙර්’ දේශය හෙවත් ජර්මනිය සහ පර්සියාව නමින් හැඳින්වූ වර්තමාන ඉරානයයි.
එලෙස පැමිණෙන හමුදාවන් නැවත වරක් දෙවියන්වහන්සේ විනාශකරන ආකාරය, එසකියෙල් 39 වන පරිච්ඡේදයේ පැහැදිලිව සඳහන්ව තිබේ.
එසකියෙල් සහ අනෙකුත් බයිබලීය කර්තෘ වරුන් විසින්, තමන් ලිවුවාවූ ග්රන්ථයන්, ‘පරිච්ඡේද සහ පද’ ආකාරයෙන් වෙන් නොකල බව බොහෝ දෙනෙකු දනිති. එසකියෙල් 39 හි සඳහන් ප්‍රකාර දෙවියන්වහන්සේ එම හමුදාව විනාශ කළවිට, එම හමුදාවේ “මළසිරුරු වැළළීමට ඉශ්‍රායලයට මාස 7ක් ගතවන” බව එසකියෙල් 39:12 හි පැහැදිලිව ලියා තිබේ.
එවැනි විශාල හමුදාවක් දෙවියන්වහන්සේ විසින් විනාශ කළ පසු, දානියෙල් 7:8හි සඳහන් “ඇස් සහ උඩඟු ලෙස කථාකරන මුඛයක් ඇති අඟින්” පෙන්නුම් කෙරුණු, ‘අන්තඃ හෝ විරුද්ධ ක්‍රිස්තුස්’ ලෙස සාමාන්‍යයෙන් ප්‍රචලිත “ව්‍යාජ මෙසියස්” යුදා මිනිසුන්හට පවසා සිටින්නට යන්නේ, ‘ඔවුන්ව බේරාගත්තේ තමන් විසින්’ බවයි. මෙලෙස ඔවුන් පුල පුලා බලාසිටි ‘මෙසියස්’ තමන් බව පවසමින් ඉදිරිපත් වන කල, ඉශ්රායෙල් සෙනඟ ඔහුව ‘සාදරයෙන් පිළිගන්නවා’ ඇත. දැනටමත් බොහෝ රබ්බිවරු “මෙම මෙසියස්වහන්සේ පැමිණ සිටිය යුතුයි. තවම නැත්තේ මන්ද?” යි ප්‍රශ්න කරන අතර, තවත් අය පවසා සිටින්නේ “ඔහු අප අතර සිටිනවා. නියම කාලයේදී ඉදිරියට පැමිණේවි” කියායි.
යුදෙව් නොවන බොහෝ දෙනක් තවත් වැරදි නිගමනයකට පැමිණ ඇත්තේ, ‘රෝමයෙන් පාලකයෙක් පැමිණෙන බවට’ ඉගැන්වීමක් කර තිබෙන හෙයිනි. රෝමයෙන් පැමිණෙන්නේ ‘ආගමික නායකයෙක්’ මිස, ‘පාලකයෙක් හෙවත් දේශපාලන නායකයෙකු’ නොවන බව පෙන්නුම් කල යුතුවේ.
“මෙසියස්වහන්සේ / ක්‍රිස්තුස්වහන්සේ තමන්” යයි කියාගනිමින් පැමිණෙන්නේ, ‘ආගමික නායකයෙක්’ නොව දේශපාලන නායකයෙක් බව, දේව වචනයේ පැහැදිලිව සඳහන්ව ඇත.
ඒ තැනැත්තා, “සැබෑ මෙසියස්වහන්සේ අනුකරනය කෙනෙකු” වන හෙයින්, මේ සරල උදාහරණයෙන් එය දැකගත හැක. ගාබ්‍රියෙල් දූතයා මීරියම්ට නොහොත් මරියතුමියට පවසා සිටියේ, “ඔබේ කුසයට පැමිණෙන තැණැන්වහන්සේට, දෙවියන්වහන්සේ ‘දාවිත්ගේ සිංහාසනය’ දානය කරන බවත්, එය මත හිඳ එතුමන් (මෙසියස්වහන්සේ) ‘යාකොබ්ගේ වංශය’ කෙරෙහි රජකම් කරන බවත්”ය (ලූක් 1:31-32). එම තැණැන්වහන්සේ හට, කිසිම ආගමීක ‘වාතාවරණයක්’ දේව වචනයේ කිසිදු ස්ථානයක පෙන්නුම් නොකොරන අතර, ‘ආගම’ යන වචනයද බයිබලයේ කිසිම ස්ථානයක, “මුල් බසින්” සඳහන් නොවන බව පවසා සිටින කල, බොහෝ දෙනෙකු මවිත වනවාටද සැකයක් නැත.
ඉංග්‍රීසි, සිංහල පරිවර්තන වල පවා ‘පැරණි ගිවිසුමේ ලියවිලි’ ලෙස හඳුන්වන කොටසේ ‘ආගම’ නැමැති වචනය නොමැති අතර, නව ‘ගිවිසුමේ ලියවිලි’ ලෙස කියැවෙන අංශයේ, සිංහලෙන් පවා ‘ආගම’ නැමැති වචනය නොමැති ස්ථානයන්හී, ඉංග්‍රීසි පරිවර්තනයන් වල ‘රිලීජන්’(Religion) නැමැති වචනය ඇතුලත් කර තිබීම, පුදුමයට හේතුවේ – උදාහරණයක් යාකොබ් 1: 27.
ඒ කෙසේ වෙතත් මෙම “අවසාන කාලයේහීදී”, ‘දේශපාලන සහ ආගමික’ නායකයන් ලෙස දෙදෙනෙක් පැමිණෙන බව, දේව වචනයේ පෙන්නුම් කෙරෙන අතර, එය එළිදරව් 13 වන පරිච්ඡේදයේ ඉතා පැහැදිලිව දැකගත හැකිවේ. එමෙන්ම, ඒ “දෙදෙනාම” අවසානයේ “ගෙන්දගමින් දැවෙන ගිනිවිලට හෙළන බව”ද, එළිදරව් 19:20හි, වැඩිදුරටත් ලියා තිබේ.
මෙම ‘ආගමික නායකයා’ විසින් “දේශපාලන නායකයා වන ව්‍යාජ මෙසියස්ගේ” රූපයක් (Holograph) සාදවා, ඊට නමස්කාර කිරීම ‘අනිවාර්ය කරන බව’ එළිදරව් 13:14 සහ 15 වන පදයන්හි සඳහන් වන අතර, ‘අවශ්‍ය දෑ මිළදී ගැනීම උදෙසා’ දේශපාලන නායකයාගේ ‘නාමයේ වටිනාකම’ වන 666, අනිවාර්ය කරන්නේ ද මෙම ‘ආගමික නායකයායි’.
ඔහුගේ පැමිණීම රෝමයෙන් බවට බොහෝ සාක්ෂි ඇත. මෙම දෙදෙනා වෙන්, වෙන් වශයෙන් හඳුනා නොගෙන, සමහර අය ‘එක්කෙනෙකු’ ලෙස සිතා සිටීම, ශෝකජනක කරුණකි.
‘අන්තඃ හෝ විරුද්ධ ක්‍රිස්තුස්’ ලෙස සාමාන්‍යයෙන් ප්‍රචලිත මෙම “ව්‍යාජ මෙසියස්ගේ” උපත, පුරාතන අෂූර් අධිරාජ්‍යයේ අගනුවරවූ, ‘නිනිවයේ’ සිදුවන බව, නාහුම් 1:1 සහ 11 වන පද සංසන්දනය කිරීමෙන් දැකගත හැකිය. නිනිවය යනු වර්තමාන ඉරාකයේ පිහිටි ‘මොසුල්’නගරයයි. මීට වසර කිහිපයකට පෙර, “අයිසිස් (ISIS)” ත්‍රස්ත කල්ලිය, ටයිග්‍රිස් ගඟබඩ පිහිටි එම නුවර, එම ගඟ හරහා වේල්ලක් පවා ඉදිකරමින්, තමන්ගේ බලකොටුවක් කරගෙන සිටි ආකාරය, සමහර අයට මතක තිබෙන්නට පුළුවන.
එසකියෙල් 38 සඳහන් නායකයන් තිදෙනා (රුසියාව, ජර්මනිය, ඉරානය) ඉශ්‍රායලයට විරුද්ධව යුද්ධයට පැමිණි කල, දෙවිඳුන් එම හමුදාව විනාශ කල පසු, එසකියෙල් 39:9හි, මෙම ‘ව්‍යාජ මෙසායාගේ’ ප්රකාශවීම පිළිබඳව “ඉඟියක්” පෙන්නුම් කෙරේ.
ඒ දනියෙල් 9: 27හි සඳහන් “සත් අවුරුදු සාම ගිවිසුම” හා සම්බන්ධවයි.
එසකියෙල් 39:9හි සඳහන් වන්නේ, “ඉශ්රායෙල් සෙනඟ ඔවුන් සමඟ යුද්ධයට පැමිණි හමුදාවේ ආයුධ, ‘සත් අවුරුද්දක්’, “ගිනි දල්වන පිණිස” (දර ලෙස) පාවිච්චි කරන” බවයි. එයින් ‘ඛණිජ තෙල් නැතහොත් ඉන්ධන’ නැතිවී යාමක් පෙන්නුම් කෙරෙන අතර, එම ‘කාල සීමාව’, දනියෙල් 9:24-27 දක්වා පෙන්නුම් කෙරෙන කාලසටහනේ “70 වන සතිය” හා සැසෙඳ්. එය දනියෙල් 9:27හි ලියා ඇති “ව්‍යාජ මෙසියස් ස්ථීර කරන” සාම ගිවිසුම බව, “අවසන් කාලය” හදාරන සෑමදෙනාම දන්නා දෙයකි. එම පදයේ “බොහෝ දෙනෙකු සමග” ලෙස කියැවෙන්නේ, ‘ඉතිරිව සිටින නායකයන් 7 දෙනා’ පිළිබඳව බව පැහැදිලි වන්නේ, ඕනෑම ‘ගිවිසුමක්’ කෙරෙන්නේ ‘නායකයන්’ සමග පමණක් හෙයිනි.
එනමුත් දනියෙල් 9: 27හි ඉතිරි කොටසේ සඳහන් ප්‍රකාර, ව්‍යාජ මෙසියස් “සතිය මැදදී සාම ගිවිසුම කඩකරමින් යාගයත්, ආහාර පූජාවත් නතරකර ‘පාළුකරන පිළිකුල’ දේව මාලිගාවේ ඉදිකල” විට, ඉශ්රායෙල් මිනිසුන්ගේ ඇස් ඇරේ.
සැබෑ මෙසියස් [ක්‍රිස්තුස්] වන යාඃෂුවා වහන්සේද මතෙව් 24:15හි එම පදය උපුටා දක්වා ඇත. 2 තෙසලෝනික 2:4හි, අපොස්තුලු පාවුළුද ඒ පිළිබඳව තවත් විස්තර පෙන්නුම් කරයි. එමෙන්ම සාක්ෂිකරුවන් දෙදෙනෙක් ගැනද එළිදරව් 11 වන පරිච්ඡේදයේ සඳහන් වේ.
ඒ සියලු දේවල් පිළිබඳව, මතු ලියවිලි ගොනු කෙරෙනු ඇත.
මෙම ලියවිල්ල, මීට කලින් පැවසු දේවල්ද අඩංගුව මෙලෙස සකස් කළේ, බොහෝ කාලයක් පුරා ජර්මනියේ නායිකාව ලෙස සිටි ඇන්ජලා මර්කල්, ‘ප්‍රසිද්ධ දේශපාලනයෙන්’ ඉවත්වීම හේතුවෙන්, එම රටේ “පිරිමි නායකයකු” පත්වීමෙන් ‘රජවරු 10 දෙනා’ ස්ථානගත වීමට, දැන් කිසිම අවහිරතාවයක් නැතුවා සේම, දමස්කය ඉතා නුදුරේදීම “නටඹුන් නගරයක්” වීමටද ඉඩ ඇති හෙයින්, ඒ කරණකොටගෙන ගීතාවලිය 83 හි සඳහන් යුද්ධය අවසන්වී, නායකයන් 10 දෙනෙකුගෙන් සමන්විත ‘ගෝලීය රාජ්‍යය’ ස්ථාපිත වීමට කාලය සමීප හෙයිනි.
ශලෝම් පාස්ටර්, ගොඩාක් ස්තුතියි මේ web එක නිර්මාණය කලාට. මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මට පාස්ටර් පැතුම් තමයි මේ web එක ගැන තොරතුරු දුන්නේ. කහල් එකේ ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි.
මම ඉතාලියේ ආශා සහෝදරිය
බොහොම ස්තූතියි ආෂා ප්‍රතිචාරයට. මුළු මහිමය හිමි යඃහවේ දෙවිදුන් ඔබට ආශිර්වාද කරත්වා. ආමෙන්!