විසිර ගිය යුදෙව් ජනතාවගේ මුඛයන්ගෙන් නිරතුරුව නික්මුණ කියමන වූයේ “හා’ෂානා හා’බාආහ බ’යෙරුෂලායිම්” යන්නයි. එහි අරුත “ලබන වසරේ යෙරුසලමේදී” වේ.
නොයෙකුත් අන්දමේ පීඩාවන් හට භාජනය වීම හේතුවෙන් 1850ස් ගණන් සිට, තමන්ගේ ආදිපීතෘන් හට දෙවිඳුන් පොරොන්දුවූ දේශයට “නැවත පැමිණීම” යුදෙව් මිනිසුන් ඇරඹූහ. ඊට ප්‍රථම පවා එහි පැමිණි යුදෙව් මිනිසුන් වූහ. එනමුත් ලිඛිත වාර්තා බහුලව ඇත්තේ, එතැන් පටන් පැමිණි අය සම්බන්ධවවේ. එමෙන්ම, නොකඩවාම යුදෙව් අතලොස්සක් තමන්ගේ දේශයේ පදිංචිව සිට ඇති බවට සාක්ෂි තිබෙන බවද, සඳහන් කළ යුතුවේ.
විවිධ අවස්ථාවන්හීදී, නොයෙකුත් රබ්බීවරුද “පොරොන්දු දේශයට තමන් නැවත යායුතු බව” පැවසූහ. යෙහුඩා ආරියේ ලෙඔන් බිබාස් නැමැත්තා ඉන් එක්කෙනෙකි. ඔහුගේ භාර්යාවගේ අභාවයෙන් පසු ඔහු 1852දී එලෙස ඊශ්‍රායලයට පැමිණි නුමුත්, වයස්ගතව සිටි හෙයින් මාස 2කින් මිය ගියේය. ස්වී හර්ෂ් කලීෂර් නැමැති රබ්බීද, “නැවත යාම” [හේබ්‍රව් බසින් “අලියාඃ”] පිළිබඳව නිතරම පැවසුවේය.
එලෙස පැමිණි බහුතරයක් රුසියාවෙන් සහ නැගෙනහිර යුරෝපයෙන්වූ හෙයින්, බොහෝ අය නොදන්නා හෝ සැළකිල්ලට භාජනය නොකරන කරුණක්ද පෙන්වා දිය යුතුව ඇත.
රෝම අධිරාජ්‍යයට පෙරාතුව සිට, පැහැතින් ‘සුදු’ නුවූවත්, ඉතියෝපියාවේ යුදෙව් මිනිසුන් සිටියහ. ඉන් එක්කෙනෙක් ධර්මදූත සේවක පිලිප් හට මුණ ගැසුණු සැටි, නව ගිවිසුම් පොත්වල 5 වැන්න වන ‘ක්‍රියා පොතේ’ 8 වැනි පරිච්ඡේදයේද ලියා තිබේ. ඒ අය තමන්ව හඳුන් වන්නේ “ඊශ්‍රායෙල් නිවස” නැමැති අර්ථය ඇති “බේතා ඊශ්‍රායෙල්” නමිනි. 1862දී, අබ්බා මහාරි නැමැති පූජක නායකයකු සමග, ඔවුන් පිරිසක් යෙරුසලෙම දක්වා පා ගමනින් පිටත් වූහ. එනමුත් පිපාසය, නිසි ආහාර නොමැති කම සහ නොයෙකුත් රෝග වලට භාජනය වීම නැමැති හේතුන් මත, ඔවුන් සියළුදෙනාම මගදී මිය ගියහ. ඒ කෙසේ වූවත් ඉන් පිළිබිඹු වූයේ “සෑම යුදෙව් හදපත්ලකම ඇති ආශාවයි”. එහෙයින්, වසර 2000ක පමණ කාලයක් පුරාවටම, ඔවුන් මෙම ලිපිය ආරම්භයේදී ලියා ඇති කියමන, නිරතුරුවම ප්‍රකාශ කළහ.
එමෙන්ම එකල “භූමිය” පැවතියේද, වර්තමානයේ දිස්වන ‘සශ්‍රීක, අලංකාර’ තත්වයේ නොව විශාල කාන්තාරයක් ලෙසිනි.
බ්‍රිතාන්‍යයේ විලියම් ෂේක්ස්පියර් හා සමාන ඇමරිකානු ගත් කතුවරයා වන්නේ මාර්ක් ට්වේන් වේ. 1867දී මැද පෙරදිග සංචාරයක යෙදුනු ඔහුගේ ලියවිලි වලින් උපුටාගත් කියමන් 2ක් මගින්, එවකට ‘පලස්තීනය’ ලෙස හැඳුන්වුනු භූමිය ‘පැවති තත්වය’ මනාව විස්තර කෙරේ.
“චාරිකාවේ පෙරට ඇදෙන තරමට සූර්යයාගේ උණුසුමද වැඩිවුනා සේම භූමියද, ‘හිස් පාලුකර, බලන්නට පවා පිළිකුල්’ සහගත ස්වභායවක් ගත්තේය. කිසිම ගසක් හෝ පඳුරක්, පේනතෙක් මානයක නොවීය. ඔලිව සහ පතොක් වැනි කාන්තාරයට හිතකාමි පැල පවා, එම භූමිය අතහැර ගොස් මෙනි”.
“ශුද්ධ භූමිය තවමත් බූරුවන් සහ ඔටුවන් මගින් තරණය කරන යුගයක, අශ්වයන් පිට නැගි ඇමරිකානුවන් අට දෙනෙක් දමස්කයේ සිට යෙරුසලම දක්වා පැමිණියහ. 1867දී ඔටොමන් පාලනය යටතේ පවතින පලස්තීනය, ගස්කොලන් නොමැති, වියලි, දුගී පාලුකරයකි”.
නැවත පැමිණි ‘යුදෙව් පුරෝගාමින් හටද’ පදිංචි වන්නට වූයේ එවැනිම භූමියකය. එනමුත්, කුමණ අන්දමේ දුෂ්කරතාවයන් මධ්‍යයේ වුවද, මහත් අධිෂ්ඨාන පූර්වකව, ඔවුන් වාසස්ථාන ගත වෙමින් භූමිය ‘සශ්‍රීක කිරීමේ’ කාර්යයන්ද ඇරඹූහ. පැමිණි සෑම කංඩායමක්ම ‘සියල්ල පොදුවේ’ තබා ගනිමින්, එකට කංඩායම් වශයෙන්ම ජීවත් වූහ. ඒවා දැනටත් හඳුන්වනු ලබන්නේ “පොකුරු” නැමැති අරුත ඇති “කිබුට්ස්” යනුවෙනි. [බහු වචනය “කිබුට්සිම්”].
ළමුන්ට පාසැල් ඇතුළු සෑම මූලික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට ඔවුන් වග බලා ගත්හ. ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශයම, එක හා සමානව සියළු කාර්යයන් ඉටු කලහ.
ඒ සැමට අමතරව, අවට සිටි අරාබි අය ඔවුන් ‘පන්නා දැමීම’ සඳහා රාත්‍රි කාලයේදී ‘ආක්රමණාකාරි ක්‍රියා’ කිරීමට පුරුදුව සිටි හෙයින්, සෑම රාත්‍රියකම කංඩායම් වශයෙන් බෙදී, මුර කිරීමේ කාර්යයන්ද ඔවුනට කිරීමට සිදුවුණි.
ඊටත් වඩා බාධක පීඩාවන් පැමිණියේ, 1517 සිට 1917 දක්වා මුලු මැද පෙරදිගම පාලනය කළ ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයෙනි. ඔවුන් ගස් වලට “විශේෂිත බද්දක්” පවා පැනවූ හෙයින්, යුදෙව් මිනිසුන්ගේ කෘෂිකර්ම වැඩ හටද බාධා පැමිණුනි. එහැර මැලේරියා, උණ සන්නිපාත වැනි රෝග නිසාද සමහරුන් මියගියහ.
ඉහත සඳහන් ප්‍රකාර, විවිධ කාලයන්හීදී නොයෙකුත් රබ්බිවරු සහ නායකයන්, යුදෙව් මිනිසුන්ගේ ‘තම භූමියට නැවත පැමිණීම’ නැතහොත් “අලියාඃ” පිළිබඳ දිරිගැන්වීම් කළ මුත්, එම ක්‍රියාවලිය නිසියාකාරව ‘පණගැන් වූයේ’ තියඩෝර් හර්සල්ය.
1860 මැයි මස 2වැනි දින අවුස්ත්‍රියාවේ, වියෙනා නුවර උපන් ඔහු, ප්‍රථමයෙන් හැදෑරූවේ නීති ශාස්ත්රයවූ නමුත්, වෘතියෙන් මාධ්‍යවේදියකු වූයේය. පසුකාලිනව නාට්‍යය ගත්කරුවෙක්, දේශපාලින ක්‍රියා කරන්නෙක් සහ යම් අන්දමක ‘රාජ්‍යතාන්ත්‍රික’ (Diplomat) සේවයකුද විය.
ප්‍රංශ හමුදාවේ කපිතාන් වරයෙක් ලෙස සේවය කල යුදෙව් ජාතික ඇල්ෆ්‍රඩ් ඩ්රේෆුස්ට විරුද්ධව, ‘ජර්මන් ජාතින්ට ඔත්තු සැපයූවේ’ යයි යන චෝදනාව මත, 1894දී පැරිස් නුවර නඩුවක් පැවැත් වුනි. එය වාර්තා කිරීම සඳහා පැමිණි හර්සල්, නීතිය හදාරා තිබූ හෙයින්, එම නඩුව පවත්වන කල තිබූ දුර්වලතාවයන් කදිමට හඳුනා ගත්තේය. එනමුත් ඔහු මහත් ආන්දෝලනයකට පත්වූ කරුණ වූයේ, ඒ අසත්‍ය චෝදනාව මත ගොනු කෙරුණු නඩු විභාගයෙන් ඩ්‍රේෆුස් ‘වරදකරුවෙකු ලෙස තීන්දු කලවිට’, ප්‍රංශ ජාතීන් හැසුරුනු ආකාරයයි. නඩු ශාලාව ඉදිරියේම ඔවුන් රතිඤ්ඤා පුපුරවමින්, “යුදෙව්වන්ට මරණය” යැයි කෑගසමින් ජයගෝෂා නැගූහ. යුදෙව් ‘හිතකාමි’ රටක් ලෙස එවකට හැඳුවුනු ප්‍රංශයේ තත්වය එබඳු නම්, “තමන්ගේම රටේ මිස, වෙන කිසිම දේශයක, යුදෙව් අපට සුරක්ෂිත භාවයක් නැත” යන නිගමනයට ඔහු එළඹියේය.
එම නිගමනය වැඩිදුරටත් ඔහු තුළ සනාථ කළේ, 1895දී වියෙනා නුවර නගරාධිපති ධූරයට පත්වූ කාල් ලිවුගර්ගේ, අන්තවාදි යුදෙව් විරෝධි ක්‍රියා කාරිත්වයයි.
නොයෙකුත් රටවල මේ පිළිබඳව සාකච්චා පැවැත්වූ ඔහු, 1897 අගෝස්තු මස අග භාගයේදී, ස්විස්ටර්ලන්තයේ බාසෙල් නුවර, දින 3ක සම්මේලනයක් සංවිධානය කළේය. ඉනික්බිතව “සයනිස්ට් පෙරමුණ” (ZIONIST MOVEMENT) ස්ථාපිතවී, එහි ප්‍රථම සභාපති ලෙස ඔහු පත්වීම් ලැබුවේය.
මෙම වෙබ් අඩවියේ, “මිනිස් ශිෂ්ඨාචාරයේ ආරම්භය” නැමැති ශීර්ෂ පාඨය යටතේ, අප්‍රේල් 4 වන දින පළවුණු මුල් ලිපියේ, වර්තමාන ඊශ්‍රායලය බිහිවීම තෙක් මැද ‘පෙරදිග ඉතිහාසය’ කෙටියෙන් ලියා ඇත.
එහෙයින් එම විස්තර නැවතත් මෙහි සඳහන් නොකර, අවැසි මේ දේවල් පමණක් ලිවීම යෝග්‍යයවේ.
මැද පෙරදිග, වර්තමාන ඊජිප්තුව 1922ද, තුර්කිය 1923ද, ලෙබනනය 1930දී සහ සිරියාව 1937 යන වසරයන් හීදී, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ රාජ්‍යයන්ගේ කැමැත්ත පරිදි ස්ථපිත කරන ලදී.
එඩ්මන්ඩ් ඇලන්බි බ්‍රිතාන්‍යය හමුදාපති, 1917 යෙරුසලම වෙත එක වෙඩි පහරක් වත් එල්ල නොකර, එහි පාලනය මුස්ලිම් නගරාධිපති ගෙන් බාරගත් පසු, තුර්කිය වෙත අවධානය යොමු කළේය.
ඊට ප්‍රථම සිට, ඉස්ලාම් ආගමේ නිර්මාතෘ මොහමඩ්ගේ 37 වන පරම්පරාවේ කෙනෙකු වන, සාමාන්‍යයෙන් ෂරීෆ් හුසේන් ලෙස හැඳින් වෙන, 1908 සිට මෙකා නගරයේ ‘එමීර්’ වූ හුසේන් බින් අලි අල් හෂිමි, ඔටොමන් තුර්කි රාජ්‍යයට විරුද්ධව කැරැල්ලක් අරඹා තිබුණි. ඔහුගේ දෙවැනි පුත් අබ්දුල්ලා එම කැරැල්ලේ ‘සැළසුම් සහ මෙහෙයුම් දියත් කරන්නා’ ලෙස කටයුතු කරමින්, සමහර අවස්ථාවන්හීදී තුරිකීන්ට විරුද්ධව පහරදීම් කල කංඩායම්, පුද්ගලිකව මෙහෙයවීම්ද කළේය. පළමු වන ලෝක සංග්‍රාමය ඇරඹුණු කල, ඔහු බ්‍රිතාන්‍යය හමුදා සමග එකතු වුනි.
පසු කාලීනව, යම් මත ගැටුමක් හේතුවෙන් ඔහුගේ පියා ෂරීෆ් හුසේන්, බ්‍රිතාන්‍යය සමග‘මිත්‍ර කමින්’ වෙන්වූ හෙයින්, 1924දී ඉබන් සවුඩ්ගේ හමුදා ඔහුගේ රාජ්‍යය ආක්‍රමණය කලවිට, බ්‍රිතාන්‍යයේ සහය නොලැබුණි. ඒ හේතුවෙන් ෂරීෆ් හුසේන් 1924 ඔක්තෝබර් මස තම පදවියෙන් ඉවත්වූ කල, ඔහුගේ වැඩිමහල් පුත් අලී, එම ධූරයට පත්වුණි.
ඒ කෙසේ වූවත්, ‘කලගුණ සැළකීමක් ලෙස’ ඔහුගේ පුතුන් දෙදෙනෙක්වූ ෆයිසාල්ට වර්තමාන ‘ඉරාකය’ සහ කලින් සඳහන් කල අබ්දුල්ලාට ‘යොර්දානය’ද, 1921දී බ්‍රිතාන්‍ය විසින් ‘ප්රදානය’ කරන ලදී. එනමුත් ස්වාධීනත්වය ඉරාකයට ලැබුණේ 1932දී වන අතර, යොර්දානය ලැබුවේ 1946දීය. යොර්දානයේ දැන් රජව ඇත්තේ ඒ අබ්දුල්ලාගේ මීමුනුබුරාය (මුනුපුරාගේ පුතා).
අබ්දුලාසිස් රජු, බටහිර නම් දරා ඇත්තේ, ඉහත සඳහන් ‘ඉබන් සවුඩ්’ ලෙසයි. ඔහු එම දේශය සහ අල්ලා ගත් තවත් ප්‍රාන්ත 3ක් එක් කරමින් 1932දී, වර්තමාන මැද පෙරදිග විශාලතම රටවන ‘සවුදි අරාබියානු රාජ්‍යය’ ස්ථාපිත තළේය.
බොහෝ දෙනෙකුගේ මනස් වල ඇති ‘අදහස’ වන්නේ, හිට්ලර් යුදෙව් මිනිසුන් හට කල පීඩා හේතුකොට ගෙන පමණක්ම, ‘වර්තමාන ඊශ්‍රායලය බිහිවුනි’ යන්නයි.
ඒ කෙසේ වෙතත්, කාහට වුවත් සොයා බැලිය හැකි ඉහත සඳහන් සත්යතාවයන්ගෙන් ඉතා පැහැදිලිව පෙන්නුම් කෙරෙන්නේ, ඊට වඩා වෙනස් පිංතූරයකි. දෙවන ලෝක සංග්‍රාමයේදී “යුදෙව් මිනිසුන් හට මුහුණ පෑමට සිදුවුනාවූ දුක් ගැහැට”, ඒ සඳහා බලගතු දායකත්වයක් දුන් බවට කිසිම සැකයක් නැත. එනමුත් වැරදී නිගමනය වන්නේ, හුදෙක් ඒනිසා පමණක්ම, ‘ඔවුන්ට රටක් ලැබුණේය’ යන්නයි.
එනමුත් ඊට පෙරාතුව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ රාජ්‍යයන්ගේ ‘හිතු මනාපයට’ රටවල් 6ක් ස්ථාපිත කලා පමණක් නොව, තමන් හට හිතවත් අයහට ‘නායකත්වයන්ද’ ප්රදානය කෙරුණි. ඊට අමතරව, ඉහත පෙන්වාදී ඇති පරිදි, ආක්‍රමණය කර අල්ලා ගත් ප්‍රාන්ත 4ක් එකතු කරමින් අබ්දුලාසිස් රජු විසින්, සෞදි අරාබිය රාජ්‍යය 1932දී පිහිටුවේද, ඊශ්‍රායලය බිහිවීමට ප්‍රථම වේ.
ඒ සැමටත් වඩා වැදගත් කරුණ වන්නේ, වර්තමාන මැද පෙරදිග සියළුම රාජ්‍යයන්ගෙන්, ‘එක්සත් ජාතින්ගේ මහ සමුළුවේ’, එවකට සාමාජිකයින් 2/3 ගේ චන්දයෙන් “තේරීපත් වුණු එකම රාජ්‍යය”, ඊශ්‍රායලය පමණක්ම වීමයි. එලෙස වසර 2000ට ආසන්න කාලයක් පුරාවට ඔවුන් නොකඩවා කළ යාච්ඤවේ පිළිතුරු අත්දැකීමේ කාලය එළඹුණි.